පසුගිය පෙබරවාරි මස 13 වන දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොණරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (06) අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අවුරුදු 39 සහ 53 වයස්වල පසුවන ඉබ්බාගමුව සහ මාකොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
එක් සැකකරුවෙකු විසින් දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබාදෙන ලද මුදලින් මිලට ගත් බස් රථයකින් වෙඩික්කරු ප්‍රවාහනය කර ඇති බවට අනාවරණ වී ඇති අතර, අදාළ බස් රථය ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.
වෙඩි තබා සිදුකළ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



