ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයාගේ මෙම අනුමැතිය හිමිව ඇති අතර, ඊට සමගාමීව මහාධිකරණ විනිසුරුවරුන් සහ පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා 1983 අංක 35 දරන අධිකරණ සංවිධාන පනත ද සංශෝධනය කිරීමට නියමිතයි.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇති.
එසේම අධිකරණ සංවිධාන පනතට ගෙනෙන සංශෝධන හරහා, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා ද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ද වසර දෙකකින් දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙනවා.
නීතිපති අනුමැතිය හිමිවීමත් සමඟ අදාළ පනත් කෙටුම්පත් ඉදිරියේ දී රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට නියමිත අතර, ගැසට් පත්‍රයේ පළකිරීමෙන් සතියකට පසුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි.













