මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වන විට පාලනය කිරීමට පියවර ගෙන ඇති බව පොලසිය පවසනවා.
රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඊයේ (01) පස්වරුවේ ඇති වූ යම් මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාරය තුළ මෙම නොසන්සුන්තාවය හට ගත්තා.
මෙහිදී රැඳවියන් 07 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
එලෙස රෝහල් ගත කළ එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.
ඇති වූ නොසන්සුන්තාවය අතර තුර රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනිතබා ඇති බවට තොරතුරු වාර්තා වුණා.
මේ අතර ඇති වූ මෙම තත්ත්වය පාලනය කිරීමට විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව සහ පොලීසිය යෙදවීමට ද පියවර ගෙන තිබුණා.
මේ අතර බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ (01) රාත්‍රියේ යුද හමුදා සන්නද්ධ රථ යෙදවීමට කටයුතු කළා.
එමෙන්ම තත්ත්වය නිරීක්ෂණයට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ද ඊයේ (01) රාත්‍රියේ මහර බන්ධනාගාරය වෙත පැමිණියා.
මේ අතර පවතින තත්ත්වයන් තුළ මහර ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද පොලීසිය කටයුතු කරනු ලැබුවා.













