බස් රථයේ සිටි කතකට සහ යතුරුපැදිකරුවෙකුට ජීවිත අහිමි වූ සාලියවැව අනතුර

පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ සාලියවැව පොලිස් වසමේ මහහේන්යාය හන්දිය අසල දී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් ඊයේ (22) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම බස් රථය ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී බස් රථයේ රියැදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව අසල තිබූ පාලමක ගැටී ඉදිරියට ධාවනය වී අධි බලැති විදුලි රැහැන් කණුවක ද ගැටී බස් රථය පෙරලී ගොස් අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු, බස් රථයේ රියැදුරු, රිය සහායක හා බස් රථයේ මගීන් 14 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී යතුරුපැදිකරු සහ බස් රථයේ ගමන් කළ කාන්තාවක් මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මියගිය යතුරුපැදිකරු අවුරුදු 38ක සාලියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මියගිය කාන්තාව අවුරුදු 30ක රඹෑව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සම්බන්ධයෙන් සාලිය වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.