විහාර මහාදේවී උද්‍යානයේ විරෝධතාවයට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ, අනුව විරෝධතාවට අඛණ්ඩව එක්ව සිටින පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ට සහ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ට මෙම නියෝගය අදාළ වනවා.

අධිකරණ නියෝගය මඟින් විහාර මහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල පරිශ්‍රය, ඇවිදින මංතීරු සහ එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන් පාත් සහ මල් පාර ඇතුළු මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙස මෙම නියෝගය මඟින් දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට සහ විහාර මහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අවට පරිශ්‍රයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙසත්, පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් අධිකරණය නියෝග කර ඇති බව එහි සඳහන්.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ මෙම ආඥාව නිකුත් කර ඇති අතර, එහි 106(3) වගන්තිය ප්‍රකාරව අදාළ නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය පවතිනවා.

එම නියෝගය කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද අධිකරණ නියෝගයේ දැක්වෙනවා.