පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කිලිනොච්චිය,රාමනාදපුරම් ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ,නුවර,නුවරඑළිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 55ත් අතර පසුවන පිරිසකි.
පොලිසිය විසින් සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පිරිස යම්කිසි කැණීමක් සඳහා සුඛෝපභෝගී රථ දෙකකින් උතුරු පළාත වෙත පැමිණ ඇති බවය.
සැකකරුන් සන්තකයේ තිබූ භූගත ද්‍රව්‍ය සොයාගැනීම සඳහා භාවිත කරනු ලබන නවීන ස්කෑනර් යන්ත්‍රයක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
මේ සැකකරුවන් අතර සිටි පොලිස් නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියෙකු බවටද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතී.
සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කිලිනොච්චි පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත