විමල්, උදය සහ දිලිත් අධිකරණයට අපහාස කිරීම ගැන නඩුවට නියෝගයක්

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පැමිණිල්ල කැදවනු ලැබූවා.

එහිදී විනිසුරු මඩුල්ල විසින් එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේ, අදාළ පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

එම කටයුතු වල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම පැමිණිල්ල ඔක්තෝබර් 15 වනදා කැදවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළා.

ඊට අමතරව නම් කරන ලද පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ගේ කරුණු දැක්වීම සඳහා මෙම නඩුකරය ඔක්තෝබර් 23 වනදා කැඳවන ලෙසත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්