ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙරට උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.5%ක් දක්වා වැඩිවී තිබෙන අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ දී 8.1%ක් ලෙස වාර්තා වී තිබුණා.
සැප්තැම්බර් මාසයේ දී 6.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේදී 7.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන් වෙනවා.
එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසයේ දී 9.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේ දී 9.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර පසුගිය 20 වැනිදා මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ අවස්ථාවට එක්වෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නොවැම්බර් මාසයේ උද්ධමන අනුපාතය සියයට 09ක් හෝ ඊට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ප්‍රකාශ කර තිබුණා.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම සහ ඒ හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපා ඇති බව එහිදී ඔහු පෙන්වාදුන්නා.
2026 මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය කළ අවස්ථාවේදී උද්ධමනය සියයට 7ත් 8ත් අතර මට්ටමකට ඉහළ ගොස් අනතුරුව පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබූ බව ද ඔහු ප්‍රකාශ කළා.
එහෙත්, මැදපෙරදිග යුදමය තත්ත්වය අපේක්ෂා කළ කාලයට වඩා දිගුකාලයක් පැවතීම හේතුවෙන් එම පුරෝකථන වෙනස් වී ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට හැකි ඉක්මනින් ළඟා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා, ඉහළ උද්ධමනය හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයට සහ මිලදී ගැනීමේ හැකියාවට ද දැඩි බලපෑම් එල්ල වන බව පෙන්වා දී තිබෙනවා.










