Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවැත්වුණා.

මෙහිදී වර්තමාන හා අනාගත වැඩ ලෝකයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කළ විශේෂඥ කමිටුවක් විසින් සකස් කරනු ලබන යෝජිත නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරුණු අතර, දැනට පවතින ප්‍රධාන කම්කරු නීති අධ්‍යයනය කර ඒවා ඒකාබද්ධ කරමින් නව නීති රාමුවක් සකස් කිරීම, මෙහි අරමුණ බව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට අවධාරණය කළා.

යෝජිත නව කම්කරු නීති සංශෝධන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සකස් කරන බවත්, ඒ අනුව ශ්‍රම ප්‍රමිතීන්, වෘත්තීය සෞඛ්‍ය, සහ ආරක්ෂාව, කාර්මික ආරවුල් හා සම්බන්ධතා සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නීති රාමුව සකස් කිරීමට නියමිත බව ද ප්‍රකාශ වුණා.

සේවා ගිවිසුම් රාමුව , වැඩ කරන වේලාවන්, නිවාඩු හා අතිකාල පිළිබඳ ප්‍රධාන විධිවිධාන, මාතෘ ආරක්ෂණය, පීතෘ නිවාඩු මෙන්ම වැඩ ලෝකය තුළ හිංසනය හා හිරිහැර වැළැක්වීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් වන බව නිලධාරීන් කාරක සභාවට ප්‍රකාශ කළා.

එමෙන්ම අර්ධකාලීන සේවකයින්ගේ අයිතිවාසිකම්, සේවා ගිවිසුම් විධිමත් කිරීම, සේවකයින්ගේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහ සේවාස්ථානවල ආරක්ෂිත පරිසරයක් තහවුරු කිරීම සම්බන්ධයෙන් ද යෝජිත නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරුණා.

යෝජිත ශ්‍රම ප්‍රමිති පනත් කෙටුම්පතේ දැනට සකස් කර ඇති පරිච්ඡේද හතර මහජනතාවට සහ අදාළ පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන labourmin.gov.lk ඔස්සේ ප්‍රකාශයට පත් කර ඇති බව ද නිලධාරීන් විසින් කාරක සභවට දන්වනු ලැබුවා.

යෝජිත නව කම්කරු නීති සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා වෘත්තීය සමිති, සේවායෝජකයින්, සේවක නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමට ද අපේක්ෂා කෙරෙනවා.