කිලිනොච්චි වැවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් ක්ෂණික මැදිහත්වීමක් සිදුකරමින් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තාවෙනවා.
කිලිනොච්චි වැවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයන බවට තොරතුරු වාර්තාවීමත් සමඟ සිදුවීම සම්බන්ධයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ක්ෂණික පියවර ගෙන තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අමාත්‍යවරයා, මසුන් මියයාමට හේතු පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් කරුණු විමසා, සිදුවීමේ සැබෑ තත්ත්වය පිළිබඳ පැහැදිලි වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවට වාර්තාවෙනවා.
කිලිනොච්චි වැවේ පහළ කොටසේ සිදුවූ මෙම සිද්ධියෙන් විශාල ප්‍රමාණයේ මසුන්, මිරිදිය ඉස්සන් සහ මත්ස්‍ය පැටවුන් ඇතුළු ජලජ ජීවීන් විශාල සංඛ්‍යාවක් මියගොස් ජලයේ පාවෙමින් තිබියදී හමුවුණා.
වැවේ ජලය මුදාහැරීමේ ක්‍රමවේදය සහ වාරිමාර්ග කටයුතු අතරතුර ඇති වූවා යැයි සැක කෙරෙන ගැටලු පිළිබඳව විවිධ ප්‍රශ්න මතුව ඇති පසුබිමක, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
විශේෂයෙන්ම, මෙම සිදුවීම හේතුවෙන් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත ධීවර පවුල්වල ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස වගා කළ මසුන් මෙන්ම දැල් ඇතුළු ධීවර උපකරණ ද අහිමි වීමෙන් ධීවරයන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවටත් සිද්ධිය සම්බන්ධයෙන් නිකුත්කර තිබෙන ප්රවෘත්ති නිවේදනයක සඳහන් වෙනවා.
ඒ අනුව, පීඩාවට පත් ධීවරයන්ට සිදුවූ අලාභහානි, ජීවනෝපායට එල්ල වූ බලපෑම් සහ සිදුවීමට අදාළ හේතු පිළිබඳව අදාළ නිලධාරීන් මාර්ගයෙන් පුළුල් තොරතුරු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමෙන්ම, මසුන් විශාල වශයෙන් මියයාම නිසා වැවේ ජලයේ ගුණාත්මකභාවයට සහ පරිසරයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ද නිසි අධ්‍යයනයක් සිදු කර, මෙම සිදුවීමට සැබෑ හේතු හඳුනාගෙන, පීඩාවට පත් ධීවර ජනතාවට සාධාරණ විසඳුමක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇති බවටත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.










