ප්‍රංශයේ ටිබෙට් ප්‍රජාවට ජාතික අනන්‍යතාව රැකගැනීමට සතියක්

ප්‍රංශය පුරා වෙසෙන ටිබෙට් ප්‍රජාවන් සහ සංවිධාන එක්ව සැප්තැම්බර් 21 සිට 27 දක්වා ටිබෙට් ජාතික අනන්‍යතාව රැකගැනීමේ සතිය සමරා තිබෙනවා.

මධ්‍යම ටිබෙට් පරිපාලනයේ (CTA) උපදෙස් අනුව සෑම වසරකම සැප්තැම්බර් මාසයේ සිව්වන සතිය මෙම අරමුණ සඳහා වෙන්කර ඇති අතර, ටිබෙට් භාෂාව, සංස්කෘතිය, ආගම, සම්ප්‍රදායන් සහ ජාතික අනන්‍යතාව ආරක්ෂා කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම එහි අරමුණයි.

පැරිසියේ ටිබෙට් කාර්යාලය ප්‍රංශයේ වෙසෙන ටිබෙට් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ දෛනික ජීවිතයේදී ටිබෙට් භාෂාව භාවිත කිරීම, සාම්ප්‍රදායික ආහාර ගැනීම සහ සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් භාවිත කිරීම හරහා තම අනන්‍යතාව රැකගැනීමට දායක වන ලෙසයි.

සැප්තැම්බර් 23 වැනිදා Vincennes ප්‍රදේශයේ පැගෝඩාවේදී සාම්ප්‍රදායික ආගමික වැඩසටහනක් පැවැත්වුණු අතර, පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් ඊට එක්ව තිබෙනවා.

මේ අතර, සැප්තැම්බර් 27 වැනිදා පැරිසියේ Place Pasdeloup සිට Place de la Bastille දක්වා සාම සහ සංස්කෘතික දැනුවත් කිරීමේ පාගමනක් පැවැත්වී ඇති අතර, ටිබෙට් සංවිධාන හයක් එක්ව සංවිධානය කළ එයට 1,000කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.

සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසුණු පිරිස් පාගමනට එක්වූ අතර, අවසානයේ සංස්කෘතික ප්‍රදර්ශනයක් සහ ආගමික වැඩසටහනක්ද පවත්වා තිබෙනවා.

සතිය පුරා ටිබෙට් ප්‍රජාවන්, පාසල් සහ සංවිධාන මගින් ටිබෙට් භාෂාව, සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණා.