බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස කළේ යැයි තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුකරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරනු ලැබූ ඉල්ලීමට නීතිපතිවරයා අද අභියාචනාධිකරනය හමුවේ විරෝධය පළ කළා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම පෙත්සම තුළින් අධිකරණ ක්‍රියා පටිපාටිය අවභාවිතාවට ලක් කිරීමක් සිදුවී ඇති හෙයින් එය ඉල්ලා අස් කර ගැනීමට විරුද්ධ වන බව සඳහන් කළා.
එවිට පෙත්සම්කර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තම පාර්ශ්වය එකඟ වී ඇති බවයි.
මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ ඇතිකරගත් එකඟතාවන් අභියාචනාධිකරණයට අදාල නොවන බව සඳහන් කළ නීතිඥවරයා පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව ඊට අදාළ වාචික දේශන මාර්තු මස 25 වන දා ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය පාර්ශව කරුවන්ට නියෝග කළා.













