ජනාධිපතිවරණ සමයේ වැලිකන්දේ පිහිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ කාර්යාලයකට අයුතු ලෙස ඇතුළු වී, ඔහුගේ ආධාරකරුවන්ට පහර දී තුවාල සිදුකර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් 6 දෙනෙක් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස පොළොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග අද (25) නියෝග කළා.
ඉකුත් 2015 ජනවාරි මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පොළොන්නරුව මහාධිකරණ බලප්‍රදේශයට අයත් වැලිකන්දේ දී අයුතු ජනරාශියක සාමාජිකයින් වෙමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 140, 300, 315 සහ 314 වගන්ති ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 7 බැගින් ගොනු කර තිබුණා.
මෙම නඩුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා කැඳවූ අවස්ථාවේදී, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිළි පාර්ශ්වය අසමත්ව ඇති බව මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළා.
ඒ අනුව අදාල විත්තිකරුවන්ට එල්ල වී තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කරනු ලැබුවා.
මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ, පී. ඒ. රුක්මන් ප්‍රදීප්, එම්. එස්. ප්‍රදීප් මංජුල, එච්.එම්. ධනපාල, බී.එම්. අසංක නුවන්, පී.ඒ. චාමර අසංක ප්‍රේමසිරි සහ පී.ඒ. විකුම් ප්‍රභාත් ප්‍රේමසිරි යන විත්තිකරුවන් වනවා.













