ඥාණසාර හිමි සිවුර පොරවා සිටීමේ හෝ නොසිටීමේ තීරණය, සංඝ සභාව සතුයි – කෝට්ටේ සංඝ සභාවෙන් ලිපියක්

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්, මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂුවක් බවත්, භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවට බව මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝ සභාව පවසනවා.

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංඝ සභාව මේ බව සඳහන් කර තිබෙනවා.

බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා දුටු බවට පෙන්වා දෙන එම සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසන්නේ, භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවට බව සඳහන් කර තිබුණා.

ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන්ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවකම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබාදීම මෙතෙක් ශාසනිකව හා අධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියක් මෙන්ම, එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක් බවත් එම නිවේදනයේ සඳහන්.

එබැවින් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට උන්වහන්සේට අවස්ථාව ලබාදෙන ලෙසත් පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ලිපියේ සඳහන් කර තිබෙනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින්,

letter rotated