ජීවිතය තෘප්තිමත්ව ගත කරන්න නම් සාමූහිකත්වය වගේම කලාවත් අවශ්‍යයි – අග්‍රාමාත්‍ය

ජීවිතය තෘප්තිමත්ව සහ සතුටින් ගත කරන්න නම් සාමූහිකත්වය,එකිනෙකා තේරුම් ගැනීම, සමගිය වගේම කලාවත් අවශ්‍ය බවත්, අපගේ අනන්‍යතාවය තබාගනිමින් විවෘත මනසකින් අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

සත් කෝරළයේ කලා උරුමය පුනරුදයකට ලක් කරමින්, රසවින්දනාත්මක හා සංස්කෘතික වශයෙන් බලගැන්වූ මිනිසෙකු බිහිකිරීමේ දැක්ම පෙරදැරිව, වයඹ ජනකලා පදනම සහ සියපත කලා සංගමය එක්ව සංවිධානය කළ විශේෂ අධ්‍යාපනික සහ සංස්කෘතික වෙළෙඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් වයඹ ජන කලා කේන්ද්‍රයේදී අද (12) අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

මෙම ප්‍රදර්ශනය අද (12) දින සිට 18 වන දින දක්වා පෙ.ව. 10.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වෙනවා.

පාසල් සිසුන්, ගුරුවරුන්, විෂය ලැදි තරුණ කණ්ඩායම් සහ වැඩිහිටියන් ඉලක්ක කරගනිමින් මෙම දැවැන්ත සංස්කෘතික මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රදර්ශනය ආරම්භ කරම්න් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය විවෘත කිරීම සහ ජනකලා පදනමේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රාමාත්‍යතුමිය ව්සින් සිදු කළා.

කලාව වෙනුවෙන් සුවිශේෂි සේවාවක් ඉටුකරන වයඹ පලාත නියෝජනය කරන ප්‍රවීන කලාකරුවන වන මහාචාර්ය මුදියන්සේ දිසානායක, නිබිරියාගම බණ්ඩාර, ඇන්ටන් කුරේ සහ චරිත වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු අග්‍රාමාත්‍යතුමිය අතින් මෙහිදී ඇගයීමට ලක් වුණා.

පැමිණ සිටි පිරිස අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙලෙස සඳහන් කළා,

අප ප්‍රාර්ථනා කරන, සිහින මවන පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් තුළ කලාව හා සංස්කෘතිය යනු අතිශයින්ම වැදගත් දෙයක් බව අප විශ්වාස කරනවා. එමෙන්ම අපේ රටේ උරුමයන් දැකබලා ගැනීමත්, ඒවා අධ්‍යයනය කිරීමත්, අද දවසට ගැලපෙන ලෙස ඒවා අපේ ජීවිතවලට එකතු කරගනිමින් ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදය අත්දැකීම් තුළින්ම ලබාගැනීම ඉතාම වැදගත්.
ගරු මන්ත්‍රීතුමා මට පැවසූ පරිදි මෙහි චිත්‍රපට පෙන්වනවා, අධ්‍යාපනික වැඩසටහන් සහ වැඩමුළු තියෙනවා, ප්‍රසාංගික ඉදිරිපත් කිරීම් ගණනාවක් තියෙනවා. මේ සියල්ල හරහා අප බලාපොරොත්තු වන්නේ වයඹ පළාතේ ජනතාවගේ ජන ජීවිතය පොහොසත් කිරීමයි. “පොහොසත් වෙනවා” කියන්නේ ආර්ථික පැත්ත විතරක් නෙවෙයි. පාරවල් හදන එක, බිල්ඩින් ගොඩනගන එක, තට්ටු ගෙවල් හදන එක මේවා ඔක්කොම අවශ්‍ය කාරණා. නමුත් ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. අපට කොන්ක්‍රීට් වලින් ඉතාමත්ම නූතන නගරයක් හදලා, කිසිම සතුටක්, සංවේදීතාවයක් හෝ තෘප්තියක් නැති හිස් ජීවිත ගත කරන්න පුළුවන්. හැබැයි අපට ඇත්තටම ජීවිතය තෘප්තිමත් කරගන්න නම්, සතුට ඇති කරගන්න නම් මේ වගේ දේවල් අවශ්‍යයි. අපේ සාමූහිකත්වය, එකිනෙකා තේරුම් ගැනීම සහ සමගිය අවශ්‍යයි.

එමෙන්ම, පොදු තැනක හැසිරෙන්නේ කෙසේද කියන එකත්, සමාජය තුළ ආරක්ෂිතව සිටින්නේ කෙසේද කියන එකත් අප අත්දැකීම් තුළින් ලබාගත යුතුයි. හැමදේකින්ම වෙන්වී, වහගෙන සිටීමෙන් පමණක් අපට ආරක්ෂා විය හැකි යැයි සිතන්න බැහැ. අපගේ අනන්‍යතාවය තබාගනිමින්, අතිශයින්ම සංකීර්ණ වූත්, තාක්ෂණය නිසා ඉතා වේගයෙන් වෙනස් වන්නාවූත් සමාජයක් තුළ ආරක්ෂිතව ජීවත් වන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට නම් අප විවෘත මනසකින් යුතුව ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීමට සූදානම් විය යුතුයි.

එබැවින්, අද දවස තුළ ඔබ කවදාවත් කතා නොකළ කෙනෙකු සමඟ කතා කර බලන්න. ඔවුන්ගේ ජීවිතය තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන්ට වඩා දුර බැහැරින් ආපු කෙනෙක්, තමන්ගේ භාෂාව කතා නොකරන කෙනෙක්, වෙනත් ආගමකට හෝ සංස්කෘතියකට අයත් කෙනෙකු සමඟ අදහස් හා අත්දැකීම් බෙදාගන්න. අපේ ජීවිතය පුළුල් වන්නේත්, අලුත් දේවල් ගැන දැනගන්න ලැබෙන්නේත් එවිටයි.
කලාව සහ සංස්කෘතිය අපේ ජීවිතයට අවශ්‍ය වන්නේද ඒ නිසයි. හොඳ පොතකට අපව කවදාවත් නොගිය තැනකට ගෙන යා හැකියි. හොඳ කලාකෘතියකට හෝ චිත්‍රපටයකට වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් අපට දැනෙන ලෙස සමීප කළ හැකියි. එබැවින් ඉතාම විවෘත මනසකින් සහ ප්‍රබෝධයකින් යුතුව අද දවසේ රසවින්දනය ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ වෙනුවෙන් මහන්සි වූ සහ කැපවූ සියලු දෙනාටම මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. දින හතක් පුරා ක්‍රියාත්මක වන මේ වැඩසටහන ඉතාම සාර්ථකව, සියලු දෙනාටම අමතක නොවන අත්දැකීම් ලබාදෙන දින හතක් වේවායි ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවා.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවර තිස්ස වර්ණසූරිය, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න, නාමල් සුදර්ශන, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කුරුණැගල නගරාධිපති,ප්‍රාදේශිය සභා සභාපති,ජනකලා පදනමේ සභාපති අනිල් කේ. සේනාධීර ඇතුළු රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06