ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමේ මාර්ග සැලැස්ම පිළිබඳව කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.
එසේම මේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ හා මහජන අදහස් හා යෝජනා විමසීමෙන් පසු ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නුදුරේදී ඉදිරිපත්කරන බවයි එම අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.
එසේම මෙහිදී මෙරට සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රසම්පාදනය ක්‍රියාවලිය විද්‍යුත් තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීම (e-Procurement System) පිළිබඳව මින් පෙර රැස්වීමේදී දෙන ලද නියෝගයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා වුණා. මේ අනුව මෙම ක්‍රමවේදය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව අනු කාරක සභාවේ සභාපති පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මේ වර්ෂයේ ජූනි මාසය වන විට කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක් සඳහා අත්හදාබැලීම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ.
රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම මගින් පහසු සහ ඉක්මන් සේවයක් ඇතිකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ සඳහා සැලසුම් කර ඇති වැඩපිළිවෙළ හා එහි වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන් ඉදිරිපත්කිරීමක් සහිතව පැහැදිලි කිරීමද මෙහිදී සිදු වී තිබෙනවා.













