චීන ආර්ථිකය තුන්වන කාර්තුවේදී සියයට 4.5කින් වර්ධනය වී තිබුණද, එම සංඛ්යාවෙන් එරට ආර්ථිකයේ ගැඹුරු ගැටලු මඟහැරී නොයන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
දුර්වල දේශීය ඉල්ලුම, අර්බුදයට ලක්ව ඇති දේපළ වෙළෙඳපොළ සහ ඉහළ බලශක්ති පිරිවැය මධ්යයේ, අපනයන වර්ධනය චීන ආර්ථිකයට තාවකාලික සහනයක් ලබාදෙමින් පවතිනවා.
ජූලි සිට සැප්තැම්බර් දක්වා වාර්තා වූ සියයට 4.5ක ආර්ථික වර්ධනය, පෙර කාර්තුවේ සියයට 4.3ක අගය ඉක්මවා ගිය අතර, විශ්ලේෂකයන්ගේ සියයට 4.4ක පුරෝකථනයට ද වඩා ඉහළ ගොස් තිබෙනවා.
එහෙත් එය චීන රජයේ මේ වසරේ සියයට 4.5ත් 5ත් අතර වර්ධන ඉලක්කයේ පහළ සීමාවට පමණක් ළඟා වී තිබේ. දශක කිහිපයකින් චීනය නියම කළ අඩුම වාර්ෂික වර්ධන ඉලක්කය ද මෙයයි.
චීන ආර්ථිකයේ ප්රධාන දුර්වලතාවක් ලෙස දේශීය ඉල්ලුම ප්රමාණවත් නොවීම ඉස්මතු වී තිබේ. ජාතික සංඛ්යාලේඛන කාර්යාංශයේ නියෝජ්ය ප්රධානී මාඕ ෂෙන්යොං ද දේශීය ඉල්ලුම “ප්රමාණවත් නොවන” බව පිළිගෙන තිබෙනවා.
දේපළ වෙළෙඳපොළේ දිගුකාලීන අර්බුදය සහ පාරිභෝගික විශ්වාසය පහත වැටීම, ආර්ථිකයේ අභ්යන්තර ගැටලු තවදුරටත් තීව්ර කරනවා.
සැප්තැම්බර් මාසයේ සිල්ලර අලෙවිය සියයට 1.1කින් ඉහළ ගියද, එය උද්ධමනයෙන් පසු ගණනය කළ විට ඉතා සුළු වර්ධනයක් බව පින්පොයින්ට් ඇසට් මැනේජ්මන්ට් ආයතනයේ ප්රධාන ආර්ථික විශ්ලේෂක ෂිවෙයි ෂැං පවසනවා.
මේ අතර, වසරේ මුල් මාස නවය තුළ ස්ථාවර වත්කම් ආයෝජන සියයට 7.2කින් පහත වැටීම ද ආර්ථිකයේ ආයෝජන ක්රියාකාරකම් දුර්වල වී ඇති බවට සංඥාවක්.
කෘත්රිම බුද්ධියට අදාළ පරිගණක, අර්ධ සන්නායක සහ දත්ත මධ්යස්ථාන උපකරණ සඳහා ගෝලීය ඉල්ලුම ඉහළ යාම, චීනයේ අපනයනවලට ශක්තියක් වී තිබේ. එහෙත් දේශීය පාරිභෝගික ඉල්ලුම දුර්වල වීම නිසා නිෂ්පාදකයන් විදේශ වෙළෙඳපොළ මත තවදුරටත් රඳා පවතින තත්ත්වයක් මතුව තිබෙනවා.
චීනයේ අපනයන අතිරික්තය ඉහළ යාම යුරෝපා සංගමය සහ ඇමෙරිකාව සමඟ වෙළෙඳ ආතතීන් ද උග්ර කරමින් පවතිනවා.
චීනයේ නිෂ්පාදන කර්මාන්තයට රජයේ සහනාධාර හරහා අසාධාරණ තරගකාරී වාසියක් ලැබෙන බවට විවේචන එල්ල වන අතර, මේ මාසයේ චීන දෙමුහුන් වාහන යුරෝපයට අපනයනය කිරීම සීමා කිරීමට ද එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.
තවද, ඉරාන යුද්ධය හේතුවෙන් ගල්ෆ් කලාපයේ නාවික ප්රවාහනයට බාධා එල්ල වීමත් සමඟ ඉහළ ගිය බලශක්ති මිල, ලොව විශාලතම බොරතෙල් ආනයනකරු වන චීනයට අමතර පීඩනයක් එල්ල කරනවා.
ජාත්යන්තර මූල්ය අරමුදල ද බලශක්ති මිල ඉහළ යාම සහ දිගුකාලීන අවිනිශ්චිතතාව සැලකිල්ලට ගනිමින් චීනයේ වාර්ෂික වර්ධන පුරෝකථනය සියයට 4.5 දක්වා පහත හෙළා තිබෙනවා.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඉදිකිරීම්, දේපළ සංවර්ධනය සහ අපනයන මත රඳා පවතින ආර්ථික ආකෘතියෙන් දේශීය පරිභෝජනය මත පදනම් වූ වර්ධනයකට චීනය මාරු විය යුතු බවයි.
එහෙත් එම ආර්ථික ප්රතිසංතුලනය මෙතෙක් සිදුවී නොමැති බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා හා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්යක්ෂ ක්රිෂ්ණා ශ්රීනිවාසන් පවසා තිබෙනවා.
ඒ අනුව, චීනයේ නවතම ආර්ථික වර්ධන සංඛ්යාව අපේක්ෂා ඉක්මවා ගියද, දේශීය ඉල්ලුමේ දුර්වලතාව, ආයෝජන පහත වැටීම සහ අපනයන මත අධික රඳාපැවැත්ම හේතුවෙන් එරට ආර්ථිකයේ අස්ථාවරත්වය තවදුරටත් පවතින බව මෙම දත්තවලින් පැහැදිලි වනවා.
