‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහනෙහි(2026-2029) ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව, දිවයිනේ කසළ කළමනාකරණය පිළිබඳ ගැටලුවලට ස්ථීරසාර විසඳුමක් ලබා දීම අරමුණු කරගෙන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත ‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.
ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක කසළ කළමනාකරණ වැඩසටහන් අධ්‍යයනය කරමින්, මෙරට විශේෂඥයන්ගේද අදහස් සහ යෝජනා ලබා ගෙන කසළ නිසි පරිදි කළමනාකරණය කිරීම මෙන්ම, නව කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ, පළාත් පාලන ආයතනවල සක්‍රීය දායකත්වයද සහිතව ඉදිරි වසර තුනක කාලරාමුවක් තුළ මෙම ‘පිවිතුරු පුරවර’ කසළ කළමනාකරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වනවා.
මෙම සාකච්ඡාවේදී සියලුම දිස්ත්‍රික්කවල කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටලු, රැස්කරගත් දත්ත, යෝජිත විසඳුම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතු විය හැකි අභියෝග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණා.
රාජ්‍ය මැදිහත් වීම මත ගෘහාශ්‍රිතව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට අවශ්‍ය විද්‍යාත්මක සහාය ලබා දීම, කසළ වෙන් කිරීම, කසළ ප්‍රතිචක්‍රීකරණය මෙන්ම, ඒවායින් ආදායමක් ඉපයීමේ ක්‍රම සම්පාදනය කිරීම, කසළ එකතු කිරීම විධිමත් කිරීම ආදිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා.
දිරන සහ නොදිරන අපද්‍රව්‍ය, ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට යොමු කිරීමේ අවශ්‍යතාවත්, කසළ අවිධිමත්ව බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවත් මෙහිදී අවධාරණය කෙරුණු අතර, අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන් සම්බන්ධ තොරතුරු ලබා දීම සඳහා විශේෂිත අංකයක් හඳුන්වා දීමටත් මෙහිදී අවධානය යොමු කෙරුණා.
මීට අමතරව, වෙරළාශ්‍රිතව ඒකරාශී වන කසළ, වෛද්‍ය අපද්‍රව්‍ය (Medical waste), වරායවල් ආශ්‍රිතව ඒකරාශී වන ෆයිබර්, දැල් ආම්පන්න ඇතුළු අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳවද සාකච්ඡා වුණා
මෙරට කසළ කළමනාකරණයට අවශ්‍ය මූලික මැදිහත් වීම මේ වන විට සිදු කර තිබෙන බවද, මේ වන විට කසළ පළාත් පාලන ආයතනවල දේපළක් බවට පත්ව නිසා කසළ ප්‍රශ්නය විසඳීම රජයට තනිවම කළ නොහැකි බවද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පෙන්වා දුන්නා.
දිස්ත්‍රික්ක සියල්ලෙහි කසළ බැහැර කිරීම මේ වන විට බරපතළ ප්‍රශ්නයක් වි තිබෙන අතර, විවිධ අවස්ථාවලදී කසළ කළමනාකරණය කිරීමට අදාළව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළද, එමගින් ස්ථීරසාර සැලසුම් ඉදිරිපත් වී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
දීර්ඝ කාලයක සිට පවතින කසළ ගැටලුවලට තනිවම විසඳුම් සෙවීමට පළාත් පාලන ආයතනවලට පමණක් නොහැකි බවද, එබැවින් රජයේ මැදිහත් වීම යටතේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාබද්ධ කරගත් විද්‍යාත්මක සැලසුම් සකස් කිරීම මගින් කසළ කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ස්ථීරසාර විසදුමක අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙම අවස්ථාවට සහභාගි වෙමින්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ මෙරට කසළ ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ පවතින ප්‍රශ්නයක් බවත්, රජය මෙම කසළ ප්‍රශ්නයට ස්ථීරසාර විසඳුමක් සෙවීමට රුපියල් බිලියන 30ක් වෙන් කර තිබෙන බවයි.
අදියර තුනක් යටතේ මෙම ජාතික කළමනාකරණ වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, මේ වෙනුවෙන් සියලුදෙනාගේ අදහස් සහ යෝජනා ලබාගෙන කසළ කළමනාකරණය කර ගැනීමට ස්ථීරසාර විසඳුමක් සෙවීම අවශ්‍ය බවද සඳහන් කළා.
මේ වෙනුවෙන් නව විද්‍යාත්මක ක්‍රම භාවිත කිරීමටත්, ජනතාවගේ හැසිරීම් රටා සහ ආකල්පමය වෙනස්කම් තුළින් තිරසාර විසඳුමක් සෙවිය හැකි බවද, එසේ නොකර කසළ කළමනාකරණයට ස්ථීර විසඳුමක් සෙවිය නොහැකි බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නා.
කසළ කළමනාකරණය කිරීමට විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මෙරට කසළ කළමනාකරණයට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙන් ක්‍රියාත්මක කරන පිවිතුරු පුරවර ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහාය අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වැඩිදුරටත් පැවසුවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බළකායේ ලේකම් සහ කැදවුම්කරු රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන) එස්. පී. සී සුගීෂ්වර, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, විශේෂඥ කමිටු සාමාජික චතුර කහඳවආරච්චි, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් පාලන කොමසාරිස්වරු, අතිරේක ලේකම්වරු, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු, කසළ කළමනාකරණ විශේෂඥ කමිටු සාමාජිකයෝ, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සහ පළාත් සම්බන්ධීකාරකවරුද, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.













