එංගලන්තය පරාජය කරමින් FIFA කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ස්පාඤ්ඤයට ඊයේ හැකියාව ලැබුණා.
ලොවක් කතාකරන පුවතක් වූ මෙම ජයග්‍රහණයෙන් පසු, සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිටත් ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.
ඒ, ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයා ප්‍රසිද්ධියේ සිදුකළ තොල් සිපගැනීමක් සම්බන්ධවයි.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගත් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන්ට සම්මාන ප්‍රධානය කරන අතර වාරයේ ස්පාඤ්ඤ පාපන්දු සභාපති ලුයිස් රුබියල්ස් විසින් එම කණ්ඩායමේ නායිකාව වන ජෙනී හර්මෝසෝගේ දෙතොල් මෙලෙස සිපගන්නා ආකාරය දැකගත හැකි වුණා.
ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයාගේ මෙම නොගැලපෙන හැසිරීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම සිදුවීමට මුහුණ පෑ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව වන ජෙනී හර්මෝසෝගෙන් ස්පාඤ්ඤ රූපවාහිනී නාළිකාවක් විමසා සිටියා.
එහිදී ඇය පවසා ඇත්තේ තමා එය රස වින්ඳේ නැති බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පාපන්දු සභාපති ලුයිස් රුබියල්ස් තවමත් කිසිවක් පවසා නැහැ.