වසරකට හරිත ඇමෝනියා ටොන් මිලියන 1.1ක් නිෂ්පාදනය කිරීමේ ඉලක්කය සහිත දැවැන්ත ව්යාපෘතියක් ඉන්දියාව ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඒ අනුව, දැනට ස්වාභාවික වායු භාවිතයෙන් ඇමෝනියා සහ යූරියා නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් පුනර්ජනනීය බලශක්තිය යොදාගනිමින් නිෂ්පාදන කටයුතු සිදුකරන මධ්යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට නියමිතයි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපානයේ මූල්ය සහාය යටතේ ක්රියාත්මක මෙම ව්යාපෘතිය, ලොව විශාලතම පුනර්ජනනීය බලශක්තියෙන් ක්රියාත්මක වන ඇමෝනියා නිෂ්පාදන ව්යාපෘති අතරට එක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.
ව්යාපෘතිය ක්රියාත්මක කරනු ලබන්නේ AM Green Ammonia (India) පෞද්ගලික සමාගම විසින්.
මෙය දිගුකාලීන බලශක්ති ඔරොත්තු දීමේ හැකියාව සඳහා බලශක්ති සුරක්ෂිතතාව ගොඩනැගීමේ ACCEL වැඩසටහන යටතේ සිදුකරන පළමු ආයෝජනය ද වනවා.
මේ සඳහා ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්ය දායකත්වයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ පරිපාලනය යටතේ ක්රියාත්මක වන Leading Asia’s Private Infrastructure Fund 2 හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාදීමට නියමිතයි.
ෆොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමෙන් සැලකිය යුතු ලෙස අඩු කාබන් විමෝචනයක් සහිතව ඇමෝනියා නිෂ්පාදනය කළ හැකි බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසටෝ කන්ද ප්රකාශ කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය විසින් 2026 මැයි මාසයේදී ACCEL වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ බලශක්ති මිල ඉහළ යාම හමුවේ ආසියා-පැසිෆික් කලාපයේ ව්යාපාර සහ රටවලට සහාය ලබාදීමත්, වඩාත් ස්ථාවර හා ඔරොත්තු දෙන බලශක්ති පද්ධති ගොඩනැගීමත් අරමුණු කරගනිමිනුයි.
මෙම වැඩසටහන යටතේ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර ඇතුළු ආයතනවල කෙටිකාලීන මූල්ය අවශ්යතා සපුරාලීම මෙන්ම, දිගුකාලීනව විවිධාංගීකරණය වූ සහ තිරසාර බලශක්ති පද්ධති සංවර්ධනය කිරීම සඳහා ද සහාය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
