ආරක්ෂක නියෝජ්‍ය ඇමති රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිරීක්ෂණ චාරිකාවක

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සක්‍රීයව නිරීක්‍ෂණය කිරීමේ විශේෂ වැඩසටහනට සමගාමීව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ඊයේ (25) රක්නා ආරක්ෂක ලංකා සමාගමේ (RALL) නිල නිරීක්‍ෂණ සංචාරයක නිරත වුණා.

එහිදී ආයතන පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාව රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පිළිගනු ලැබූ අතර, අනතුරුව සමාගම විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් කටයුතු, ව්‍යාපෘති සහ ඉදිරි උපායමාර්ගික සැලසුම් පිළිබඳව අමාත්‍යවරයා වෙත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකෙරුණා.

මෙහිදී ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ආයතනයේ ප්‍රගතිය උදෙසා ඔවුන් දක්වන විශිෂ්ට කැපවීම අගය කළ අතර, සමාගම වෙත තබා ඇති ඉදිරි ඉලක්ක සහ අරමුණු සාර්ථකව ජය ගැනීම සඳහා තවදුරටත් නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා.

තවද, තම රාජකාරී ඉටු කිරීමේදී ඉහළ කාර්යක්‍ෂමතාවක්, වෘත්තීය මට්ටමේ ප්‍රමිතියක් සහ කණ්ඩායම් හැඟීමක් පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා, ආයතනයේ ඉදිරි ප්‍රගමනයට මෙන්ම රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා දීමේ ජාතික ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබා දෙන ලෙසද අවධාරණය කළා.

2006 වසරේදී ආරම්භ කරන ලද රක්නා ආරක්ෂක ලංකා සමාගම යනු රාජ්‍ය අංශයට අයත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන අතර, කාර්මික හා වාණිජ ආරක්ෂණය, සාගරික ආරක්‍ෂණ සේවා, විශේෂිත පුහුණු කිරීම් සහ විශේෂ ව්‍යාපෘති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ උසස් සේවාවක් සපයමින්, මෙරට ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් රැසකට රැකියා අවස්ථා සලසන ප්‍රධානතම ආයතනයක් ලෙස ද ක්‍රියා කරනවා.