වවුනියාව, ගුඩ්ෂඩ් වීදිය ප්‍රදේශයේ නිවසක තිබී එකම පවුලක සාමාජිකයින් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
අද (07) උදෑසන මෙලෙස සොයාගෙන ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනාගේ සිරුරු බවයි වවුනියාව පොලිසිය සඳහන් කළේ.
අසල්වැසියෙකු පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව මෙම සිරුරු සොයා ගැනීමට හැකිව තිබෙනවා.
අදාළ මරණයන්ට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පියා සියදිවි නසාගෙන ඇති ආකාරයක් මූලිකව නිරීක්ෂණය වන බව ද පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇති පියා 41 හැවිරිදි වියේ පසුවන අතර, මව 36 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.
දරුවන් දෙදෙනා වයස අවුරුදු 09 සහ අවුරුදු 03 යන වයස්වල පසුවූ බවයි වාර්තා වන්නේ.
දරු දෙදෙනාගේ මළ සිරුරු නිවසේ පුටු දෙකක් මත දක්න ලැබෙන අතර, බිරිඳගේ මළ සිරුර නිවසේ නිදන කාමරයක තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.