ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රා දෙක හෙට (25) දිනයේ දී ගොඩබිමට රැගෙන ඒමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක නාවික හමුදාව විසින් සිට භාරයට ගැනුණා.
අදාළ බහුදින ධීවර යාත්‍රා දෙකේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270කට වැඩි ප්‍රමාණයක් ඇති බවට සැකකරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙම මෙහෙයුමේ දී බහුදින ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 11 දෙනෙක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු පළමුව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා.
එම යාත්‍රාවේ සිටි සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන තවත් යාත්‍රාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ, අනුව එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ නාවික මෙහෙයුම්වල ප්‍රතිථලයක් ලෙස තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හයදෙනෙකු සහ සන්නිවේදන උපකරණ ද එහිදී භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.



