GSP+ සහනය ගැන කතානායකවරයා යුරෝපා සංගමය සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මේ මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සංචාරයක නිරත වුණා.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර 12 වැනි අන්තර් පාර්ලිමේන්තු රැස්වීමට (IPM) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සහ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීම මෙම සංචාරයේ අරමුණ වුණා.

යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායමේ සභාපති Șerban-Dimitrie Sturdza සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ සම සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීම පසුගිය 15 වැනිදා බ්‍රසල්ස් නුවරදී සාර්ථකව අවසන් වුණා.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ යුරෝපා සංගමය සඳහා ශ්‍රී ලංකා තානාපති චන්දන වීරසේන සහ බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ශ්‍රී ලංකා
නියෝජිත කණ්ඩායමට ඇතුළත් වුණා.

ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව පැවති පළමු යුරෝපා සංගමය – ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු රැස්වීම මෙය වීම විශේෂත්වයක්.

මෙම රැස්වීම දෙපාර්ශ්වය අතර පාර්ලිමේන්තු සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් වූ අතර, අඛණ්ඩ සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම කැපවීම එහිදී යළි තහවුරු කෙරුණා.

මෙහිදී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන හා ආර්ථික සබඳතා, ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එමෙන්ම යුක්රේනයේ සහ මැදපෙරදිග තත්ත්වය, ඉන්දු–පැසිෆික් කලාපයේ වර්ධනයන්, සමුද්‍රීය සහයෝගීතාව, වෙළෙඳාම, ආයෝජන, තිරසර සංවර්ධනය, සම්බන්ධතා වර්ධනය සහ දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

සංගමයේ සම සභාපති Șerban-Dimitrie Sturdza සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකාව විවිධ අභියෝග හමුවේ පෙන්නුම් කර ඇති ඔරොත්තු දීමේ හැකියාව අගය කළා.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම සහ මැදපෙරදිග නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදය ඇතුළු අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ධනාත්මක ආර්ථික වර්ධනය පිළිබඳව ද ඔවුහු ප්‍රශංසාව
පළ කළා.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය ලබා දුන් මූල්‍ය හා මානුෂීය ආධාර පිළිබඳව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය ස්තුතිය පළ කළා.

හදිසි සහනාධාර සැපයීම, ආපදා තත්ත්වය තක්සේරු කිරීමට සහාය වීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ලබා දුන් සහාය ද ඔහු අගය කරනු ලැබුවා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව කටයුතු කිරීමේදී සහ පැරිස් සමාජය (Paris Club) සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී යුරෝපා සංගමය ලබා දුන් සහාය ද කථානායකවරයා සිහිපත් කළා.

පවතින භූ දේශපාලනික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමතර සහාය ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

1995 වසරේදී අත්සන් කරන ලද යුරෝපා සංගමය–ශ්‍රී ලංකා සහයෝගීතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වයේ සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පෙන්වා දුන් කථානායකවරයා, එම සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන යාමට කාලය
එළඹ ඇති බව අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දෙපාර්ශ්වයම පිළිගත් බව පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළක් සහ සංවර්ධන හවුල්කරුවකු ලෙස යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර අඛණ්ඩ සම්බන්ධතාව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා.

මෙම සංචාරය අතරතුර යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබුවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති Younous Omarjee ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වුවා.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා, නිතිපතා සාකච්ඡා පැවැත්වීමේ ක්‍රමවේද සහ ඉදිරියේදී සහයෝගීතාව වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායම විසින් කථානායකවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට යුරෝපා පාර්ලිමේන්තුවේ සංචාරයක් ද සංවිධානය කරනු ලැබුවා.

එහිදී පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව සැලසුණා.

කථානායකවරයා බෙල්ජියම් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ද සංචාරය කළ අතර, එහි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභාපති Peter De Roover සහ එම මණ්ඩලයේ මන්ත්‍රීවරුන් හමු වුණා.

2024 ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ලබා දුන් ජනවරමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රවල පරිවර්තනයක් ඇති කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ, රටේ වත්මන්
දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කථානායකවරයා මෙහිදී පැහැදිලි කළා.

විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව බෙල්ජියම් රජයට ස්තුතිය පළ කළ කථානායකවරයා, ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සංචාරයක් සඳහා බෙල්ජියම් නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද
ආරාධනා කළා.

2028 වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීමට නියමිත බැවින්, එවැනි සංචාරයක් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.