මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඡායාරූප ගැනීමට නිල ඇඳුම් දුන් කොස්තාපල්

ඡායාරූප ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට පොලිස් නිල ඇඳුම ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් සිකුරාදා (05 වැනිදා) නියෝග කර ඇත.

සැකකරු අදාළ නිල ඇඳුමින් සැරසී සිය මුහුණු පොතේ ඡායාරූපයක් එක් කර ඇත.

මෙලෙස ඇපමත මුදාහැර ඇත්තේ මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන අලුත්වෙල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකි.

බද්දේගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුහුණු පොතේ පොලිස් නිල ඇඳුමින් සැරසුණු සිය ඡායාරූපය ඇතුළත් කර ඇත. ඒ අනුව විමර්ශන කර චෝදනාවට ලක් වන පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබා ගැනීමට බද්දේගම පොලිසියට පැමිණි විටදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.