වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන විශේෂ අවධානයක් යොමු කෙරුණු මෙවර ජාතික කම්කරු උපදේශක සභා (National Labour Advisory Council – NLAC) රැස්වීම කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ නාරාහේන්පිට – කම්කරු මහලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
කාර්මික ආරවුල් පනත යටතේ අත්සන් කරන ලද සාමූහික ගිවිසුම්වල කොන්දේසි පිළිපැදීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ සේවක සාමාජිකත්වය සියයට 40 ඉක්මවන ආයතනවල සාමූහික කේවල් කිරීම සඳහා වෘත්තීය සමිති පිළිගැනීම සම්බන්ධයෙන් වන ගැටලු ද සාකච්ඡාවට ගැණුනු අතර එවැනි ගැටලු මතුවන අවස්ථාවල සේව්‍ය සම්මේලනය සමග සාකච්ඡා කොට අදාල ගැටලු විසඳා ගැනීමට එකඟතාව ඇති වුණා.
මෙවර පැවැති රැස්වීමේදී 2026–2032 කාල රාමුවට අදාලව මෙරට සඳහා ක්‍රියාත්මක කෙරෙන සුනිසි රැකියා වැඩසටහන (Decent Work Country Programme – DWCP) පිළිබඳ පැහැදිලි කිරීමක් ඇතුළත් ඉදිරිපත් කිරීමක් ද සිදු කෙරුණා.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ව්‍යවස්ථාවේ 24 වැනි වගන්තිය යටතේ, අංක 144 දරන ත්‍රෛපාර්ශ්වික උපදේශන සම්මුතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකළ බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ත්‍රෛපාර්ශ්වික කමිටුවක් පිහිටුවීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වෘත්තීය සමිති කිහිපයක් විසින් 2023 වසරේදී මෙම පැමිණිල්ල ILO වෙත ඉදිරිපත් කර තිබූ අතර, 2025 වසරේ සිට ජාතික කම්කරු උපදේශක සභාව නිතිපතා රැස්වී එහි මතුකර තිබූ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එලෙස ඉදිරිපත්ව තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට මුලදී සලකා තිබුණද, ඇතැම් වෘත්තීය සමිති එම කරුණ තවදුරටත් විවෘතව තබාගැනීමට අවශ්‍ය බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) වෙත පසුව දැනුම් දී තිබිණි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් ලබාදී තිබූ කාලසීමාව තුළ අදාල කරුණ විසඳී නොතිබීම හේතුවෙන් එම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා ත්‍රෛපාර්ශ්වික කමිටුවක් පිහිටුවා ඇති අතර, ඒ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.
රාජ්‍ය ව්‍යවසායන්හි ආයතන සංග්‍රහය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය වුණා.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ද ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන සේව්‍ය හා සේවක දෙපාර්ශ්වයේ නියෝජිතයන් ද එක්ව සිටියා.










