ශිරන්ති රාජපක්ෂ අද ඇස් වාට්ටුවට

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (09) කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇය ඊයේ (08) දිනයේ කොළඹ පෞද්ගලික රෝහලක අක්ෂි වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබුණත් ඇයව එම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කළේ ශිරන්ති රාජපක්ෂ ඊයේ (08) දිනයේ බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවයි.

එහිදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පූර්ණ ලෙස පරීක්ෂාවට ලක්කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව ශිරන්ති රාජපක්ෂව අද (09) දිනයේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නිර්දේශ හිමිව තිබෙනවා.