කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (09) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු කෙරුණු අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම සිදු කළා.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද (09) යොමු කිරීමට නියමිතයි.

චෝදනා 49ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරවීමේ දී කතානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරයට නුසුදුසු බවට චෝදනා එල්ලකරමින් මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ගෙන එනු ලබනවා.