පසුගියදා අමාත්‍ය බිමල් රත්නායක අතින් විවෘත කළ ”ද රෙසිඩන්සීස් කිරුළපණ මහල් නිවාස සංකීර්ණයේ” අකුණු සන්නායක පද්ධතිය කිසියම් පිරිසක් විසින් ගලවා සොරකම් කරගෙන ගොස් ඈති බව වාර්තා වනවා.
නිවාස 624ක් සහිත මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉහළම මහළට පිවිසෙන දොරවල් වල අගුලු මාරුකර කිසියම් කණ්ඩායමක් විසින් සූක්ෂම අයුරින් මෙම අකුණු සන්නායක පද්ධතිය සහිත ස්ථානයට ඇතුළු වී ඇති බවටයි පැවසෙන්නේ.
එහිදී ඔවුන් එම නිවාස සංකීර්ණයේ ඇති දොරක් කපා ඇති අතර එම ශබ්දය පිටතට නෑසීම සඳහා හදිසි ගිනි අනතුරු ඇඟවීමේ සංඥා නාද කර එය කපා ඇති බවට සැක කෙරනවා.
පදිංචි වී සුළු කාලයක් තුළ පුද්ගලයින් 1500ක් පමණ සිටින මෙම නිවාස සංකීර්ණය තුළ පහරදීම්, පිහි ඇනුම් ඇතුළු සිදුවීම් රැසක් සිදුවී ඇතිමුත් ශ්‍රී ලංකා පොලීසිය සඳහා ඉදිකර ඇති පොලිස් මුරපොළ තවදුරටත් වසා දමා ඇති බව පදිංචිකරුවන් පවසනවා.
එමගින් මෙවැනි අපරාධ තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවත් හැකි ඉක්මණින් අදාළ පොලිස් මුරපොළ විවෘත කර දෙන ලෙසටත් නිසැක සංකීර්ණයේ නිවැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.










