රිජ්වේ ආර්යා රෝහලේ දී කොවිඩ් ආසාදිත කුඩා දරුවෙකු මරුට

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙක් කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මියගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

දින 11ක සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු මෙලෙස මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මීට දින 11කට පෙර අවුරුද්දකුත් මාස 4ක් වයසැති දරුවෙකු රෝහලට ඇතුළත් කළා. මේ කුඩා දරුවා ඇතුළත් කිරීමේදී උණ සහ සෙම අමාරු තිබුණා. ඇතුළත් කළ මොහොතේ සිට එම දරුවා ඉතාමත් අසීරු තත්ත්වයෙන් පසුවුණේ. ඒ නිසා දරුවාව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. දින 11ක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගත්තා. කෙසේවෙතත් දරුවා බේරා ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. දරුවාට නිව්මෝනියා තත්ත්වය වැළඳිලා තිබ්බා. එම කුඩා දරුවා අවස්ථා දෙකකදීම කොරෝනා ආසාදිත බවද තහවුරු වෙලා තිබුණා. මේ දරුවාගේ මවත් පියාත් දෙදෙනාම කොරෝනා රෝගය වැළඳී ස්ථාන දෙකක ප්‍රතිකාර ලබමින් සිටින බවද අනාවරණය වුණා. මෙම දරුවාගේ පදිංචිය කොළඹ 02 ප්‍රදේශයේ.”