කොවිඩ් 19 වෛරසය ප‍්‍රහාර එල්ල කරන්නේ උගුරට ශ්වසන පද්ධතියට, පෙණහල්ලට හෝ හෘදයට පමණක් නොවේ. එය මුළු ජන ජීවිතයට හෙවත් සමස්ත සමාජ පද්ධතියටම පහර දෙයි ඒ අනුව ආසාදිතයාගේ ශරීරයට, මනසට, අධ්‍යාත්මයට, සමාජ තත්ත්වයට හා ආර්ථිකයට ඍජුවම එය බලපායි.
යමෙකුට කොරෝනා හැදුනොත් ඔහුගේ ශරීරයට හානි වී සමහරවිට මරණයෙන් පවා කෙළවර විය හැකිය.
එපමණක් නොව ඔහුගේ මනස සහ ආත්මය ආතතියෙන්, ක්ලමතයෙන්, අසහනයෙන්, මර බයෙන් පිරී දිවි තොර කර ගැනීමට පවා සිත්වෙයි. සමාජයේ කොන් වීමට ලක්වෙයි. අද කොරෝනා හැදුනු අයෙකු දෙස සමාජයේ බහුතරයක් දෙනා බලන්නේ අවමානයෙනි පිළිකුලෙන් සහ අපරාධකරුවෙකු ලෙසිනි.
එමෙන්ම ආර්ථිකයට තදින් පහර එල්ලවෙයි. මාස් පතා පඩි ගන්නා අය සහ ඉතා විශාල තැන්පත් ධනයක් ඇති ධනවතුන්ට නොව ස්ථිර රැකියාවක් නැති එදිනෙදා ගානක් හොයාගන්නා සරල සාමාන්‍ය දුප්පත් මිනිහාගේ ආර්ථිකයට වදින්නේ මරු පහරකි.
මිනිසා මුදල් හොයන ක‍්‍රම දෙකකි. එකක් සාධාරණ ක‍්‍රමයයි. අනික අසාධාරණ ක‍්‍රමයයි. එමෙන්ම නීත්‍යනුකූල සදාචාරත්මක ක‍්‍රමයට සහ නීති විරෝධී අශීලාචාර ක‍්‍රමයට මුදල් උපයන්නෝද වෙති. මේ හැම ක‍්‍රමයෙන්ම උපයන මුදලින් බහුතරයක් කරන්නේ කා බී ජීවත් වෙමින් දරුමල්ලන් හදා ඔවුන්ට උගන්වා හැකිනම් කීයක් හෝ ඉතිරි කර සතුටෙන් සිටීමටයි.
ගණිකා වෘත්තිය යනු අපේ රටේ ඇති නීත්‍යනුකූල නොවන සදාචාරයෙන් තොර රැකියා මාර්ගයකි.
මෙය ලොව පැරණිම රස්සාව ලෙස සමාජයේ කතාවක් පැවතුනත් එහි මූලාශ‍්‍රය කුමක්ද යන්න මා නොදන්නමි. බුදුන් දවසේ අම්බපාලි වැනි පුරඟනන් සහ යේසුස් ක‍්‍රිස්තුස් කාලයේ මරියා වැනි අනාචාර ස්ත‍්‍රීන් සිටිය බවට වාර්තා ඇත.
කොතරම් නීති විරෝධී කොතරම් අශිෂ්ට වුවත් අපේ ගණිකාවන්ටද කොරෝනා මාරයා ප‍්‍රහාරය එල්ල කොට ඇත. ඒ ගැන කතා කරන්නට පෙර අපි ගණිකාව යනු කවුරුදැයි කෙටියෙන් බලමු.
පැහැදිලි සිංහලෙන් කිවහොත් ගණිකාවක් යනු වෛශ්‍යාව, අභිසරුලිය හෝ පුරඟන යන නමින් අමතන, මුදලට හෝ එවන් භෞතික වාසියකට තම සිරුර ලිංගික කටයුතු සඳහා තවත් අයෙකුට අලෙවි කරන හෝ පරිහරනය කරන්නට ඉඩ පහසුකම් සලසන (ඇඟ විකුණන) ස්ත‍්‍රියයි. වත්මන් සමාජයේ වෙසෙන මානව හිතවාදින් විශේෂයෙන්ම එන් ජී ඕ සංස්කෘතියේ අය ගණිකාවන්ට එසේ නොකියා වාණිජමය ලිංගික ශ‍්‍රමිකාවියන් (commercial sex workers) කියා මඳක් වැදගත් නමක් යොදා ඇත. මෙයද නරකම නැත.
ඔවුන් ගණිකාවට එසේ කියද්දී සමාජ (වීදී) බාසාවෙන් බඩුව, පාර, දබේ, ගොනා, ජිල, මස, වේසාවි යනාදී නම් වලින් කතා කරයි. ඉංග‍්‍රීසියෙන් prostitute, tart, whore යන වදන වලින් කියවෙන්නේද මෙම ගණිකාවයි.
මගේ මතයට අනුව ලංකාවේ ගණිකාවන් වර්ග පහකි. ඉන් පළමුවැන්න විදියක් අයිනේ මහ මග හෝ නගරයක තම වපරිසය තුළ පමණක් සැරිසරණ, අඳුරු මුල්ලක, බස් නැවතුමක හෝ පදික වේදිකාවේ කළුවර කොනක බිම එලන ලද කාඞ්බෝර්ඞ් කෑල්ලක් මත හෝ අඳුරු බිත්තියකට පිටදී හිටගෙන කම්පසේ යෙදෙන්නට තම සේවාලාභියාට පහසුකම් සපයන අඩු මුදලකට විකිණෙන වීදි ගණිකාවයි.
දෙවැනි කොටස වන්නේ ජංගම සේවා සපයන ගණිකාවයි. දහවල් වරුවේ නිවසේ ගත කරන ඇය රාත‍්‍රී කාලයේ නගරය වෙත පැමිණ කලි එලි බහින්නේ ගානක් සොයා ගනු පිණිසයි. බොහෝ විට ඇය බස් නැවතුමක සිටගෙන සිටී. සල්ලාලයෙක් හෝ සේවය අවශ්‍ය අයෙක් ඇය ඉදිරියේ වාහනය නතර කළ විට ඇය කිසි චකිතයක් නැතිව වාහනයට නගින්නේ ඇයට රැක ගන්නට ඇත්තේ තම ජිවිතයත් දිරා ගිය අත්බෑගයත් දුරාවර්ණ කුඩයත් පමණක් නිසාය.
තෙවන කණ්ඩායම වන්නේ හෝටල් කාමර වලට පමණක් යන මැද පන්තියේ ගණිකාවෝය. ඔවුන් හරි රැස්පට්ය. ආවට ගියාට හැමෝ එක්කම කතා කරන්නේ නැත. නියම ඔෆීෂියල් ලෙවල්ය. තම සේවය අවශ්‍ය නම් ඇය කියන හෝටලයේ කාමරයක් වෙන් කර ඇයව එහි රැගෙන යා යුතුය. ගණන නියම කරන්නේ ඇයයි. මැය සමග බොරු කරන්නට නොහැක. සමූහ දූෂණ පෝලිං ක‍්‍රම ආදියට කිසි ඉඩක් නැත. මෙවැනි අයගේ සේවය ලබා ගත හැක්කේ දන්නා අඳුනනකම් ඇති අය හරහාය. එසේත් නැත්නම් දුරකථනයෙන් හෝ අන්තර්ජාලයෙන් ඔන්ලයින් ක‍්‍රමයට බුක් කිරීමෙනි
හතරවන කණ්ඩායමට අයත් වන්නේ වෛශ්‍යාගාරයක හෙවත් ගණිකා මඩමක නේවාසිකව රැඳී සිටිමින් ලිංගික සේවය සපයන අයයි. ඔවුන්ට ලැබෙන්නේ මාසික හෝ සති අන්ත වැටුපක් සහ සන්තෝසම් (ටිප්) මුදල් පමණි.
පස්වන කණ්ඩායම වන්නේ ගෘහස්ථ ගණිකාවයි මෙවැනි අය අද එතරම් සුලබ නැත. නමුත් ඈත ගම් වල අතරින් පතර දකින්නට ලැබේ සේවය අවශ්‍ය කෙනා කෙළින්ම නිවසට ගොස් ඇය සමග කතා බහ කොට තම අවශ්‍යතාව ඉටු කර ගනී. සමහරවිට සැමියාම මේ සඳහා පහසුකම් සපයයි
ඉහත කුමන කුලකයට අයත් වුවත් නාගරික ගණිකාව අද වැටී ඇත්තේ ඉතාම අන්ත අසරණ අඩියකටය.
” ඕකුන්ට ඔය උනා මදි’’
”හොඳ වැඬේ ’’
”කළකං තමා පල දෙන්නේ’’
”මහ පව්කාර ජාතියක්
සමහර සත්ගුණවත් සුපින්වතුන් මෙලෙස සිතත්දී තවත් අය සිතන්නේ ගණිකාවන්ද යම් යම් සමාජ අසාධාරණයන් නිසා පහත් තත්ත්වයට පත් තවත් මනුෂ්‍යය දියණියන් පිරිසක් බවයි.
ගණිකා වෘත්තිය යනු අප රට තුළ තවමත් නීතිගත නොකළ සදාචාරාත්මක නොවන වෘත්තියක් බව අපි නැවතත් කියමු. එහෙත් කිසි ලෙසකින් නවත්වා දැමිය නොහැකි අයුරින් රට පුරා විවිධ නව ක‍්‍රමෝපායන් හරහා මෙය ව්‍යාප්ත වෙමින් පවතී. එය යහපත් කර්මාන්තයක් හෙවත් ”සම්මා කම්මන්තයක්” නොවන බවද අපි කියමු. එහි ආනිසංස සහ අතුරු ප‍්‍රතිපල ඉතා භයානක සහ ඍණාත්මකය. නමුත් ඒවා කිසිත් මෙම ලිපියට අදාළ නොවේ. අපට අවශ්‍ය මේ කොරෝනා කාලයේ අපේ රටේ නාගරික ප‍්‍රදේශවල රැඳෙමින් මුදලට ඇඟ විකිණූ වෘත්තමය වාණිජ ලිංගික ශ‍්‍රමිකාවියන් වැන්නවුන්ට කුමක් වුණාදැයි සොයා බැලීමයි.
”අපේ එවුන් පුල් අන්දොස් මහත්තයෝ’’
”මෙසේ කීවේ පාරේ අලූත් බිස්නස් එකකට බැස ඇති මට මහරගමදී හමු වූ කාන්ති ය. පසු ගිය කාලයේ කොටුව ස්ටේෂම ඉදිරිපිට මගී පාලම යට සහ පළවෙනි හරස් විදිය අභියස පැය විසිහතර පුරාම මුදලට ඇඟ විකුණූ, තමා ළඟ නවත්වන ඕනෑම වාහනයකට කිසිම නොපැකිළීමකින් ගොඩ වුණු කාන්ති අද කරන්නේ කොළඹින් පිට නගර වල ගිනි අව්වේ ඇවිද යමින් මුඛ ආවරණ සහ සැනිටයිසර් කුප්පි විකිණීමයි. ඇගේ සහායට චූටි ලිලීයාවද ඇය පංගාත්තු කරගෙන සිටී. චූටි ලිලියාද මෑතකදී රැකියාවට බට විදි ගණිකාවකි. ඇය ගොළුය.
”කොරෝනා අපිට කෙලිය බොස්. නන්නත්තාරම වෙලා ගියා. මාර්තුවේ ඉඳං මැයි වෙනකං වහල තිබ්බ රට ජූලියෙදි අරිද්දි අපි හිතුවෙ දැන් ආයෙත් ඔක්කොම හරි යයි කියල. ඒත් කොහෙද ආයෙම කෙල වුණානෙ.
කට වාචාල කාන්ති මේ කියන්නේ නගරයේ සෙනඟ නැති නිසා ඇය ඇතුළු සමස්ත ගණිකාවන්ට වුණු අභාග්‍යයයි. ඇය කියන විදියට ඔවුන් සොයා එන සල්ලාල පිරිමින් දැන් බේතකටවත් දකින්නට නැත.
සල්ලාලයන් විතරක් නෙමෙයි මේ දවස් වල පිටකොටුව මරදාන පැත්තේ බහින විදී අක්කලාවත් නංගිලාවත් ඇහැටවත් දකින්නට නැත.
පාරවල් පාළුය කඩසාප්පු වසා ඇත. නගරයේ දකින්නට ඇත්තේ ඉඳහිට වේගයෙන් ඇදී යන පොලිස් හෝ හමුදා වාහනයක්, මූසල හඬෙන් නලා ශබ්ද කරගෙන යන ගිලන් රථයක් හෝ අත්‍යවශ්‍ය සේවා කියා බෝඞ් එකක් අලවා ගත් රියක් දෙකකි. තැන් තැන් වල නිරෝධායන රාජකාරී කරන පොලිස් නිලධාරියෙක් හෝ හමුදා නිලධාරියෙක් වත් නැත්නම් නගරය හරියට මළ සොහොන් පිට්ටනියක පෙනුම උසුලයි.
කොරෝනාව මුළු නගරයම හුදෙකලා කොට ඇත. මුළු කොටුව පිටකොටුවටම ඇත්තේ මූසල පෙනුමකි.
”ඉස්සර බස්ටෑන්ඞ් යන පාරේ ගල් කඩන මහත්තයා ගාව කැරකුනු සැට් එකම අන්තරස්දානයි මහත්තයො උන්ට මොනව වුණාද නැහැ. ඒකෙනුත් අපිටයි පාඩු. දෙයියනේ කියල තේකක්, සිගරට් එකක්, බීඩියක්, බුලත් විටක් ගන්න කීයක් හරි ඉල්ල ගන්න හිටියේ උන් ටික විතරයි. පව් සෙට් එක කොහෝ ගියාද දන්නෙ නෑ.’’
”මොන මොනවදෝ පුරවාගත් යකඩ රෝද සවි කළ ලෑලි කරත්තයක් අමාරුවෙන් තල්ලූ කරගෙන බැස්ටියන් පාර දිගේ විත් කෙසෙල්වත්ත උසාවිය පාර පැත්තට හැරුණු කාමිල්ව මඳකට මං කතාවට අල්ල ගත්තත් ඉක්මණින් එතැනින් මාරු වෙන්නට ඔහුට ඇත්තේ පුදුම තදියමකි. කාමිල් ”ගල් කඩන මහත්තයා’’ යැයි කියන්නේ කුළු ගෙඩියකින් ගලකට පහර දෙන ආකාරයෙන් අඹා ඇති ඒ. ඊ. ගුණසිංහ ප‍්‍රතිමාවටයි. ”සැට් එක’’ කියන්නේ ගුණසිංහ පුර ඉදිරියේ සහ පීපල්ස් පාක් එක පැත්තට යන පාරට හැරෙන තැන වැසිකිළි පෙළ අසල වෙනදාට සළෙලූන් එනතෙක් හිටගෙන ඉන්නා විදී ගණිකාවන්ටයි.
කාමිල්ගේ දැනුමට අනුව මහ දවල්ට සහ රාත‍්‍රියට පිටකොටුවට මරදානට බහින ගණිකාවන් පිරිස බහුතරයක් කොළඹ නගරයේ ස්ථිර පදිංචි කරුවන් නොවේ. ඔවුන් පිට ගම් වලින් පැමිණ තාවකාලික හෝටල් කාමර වල සහ ලොජ් නම් ලැගුම්හල් වල නවාතැන් ගෙන වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයයි.
කොවිඞ් වෛරස ව්‍යාප්තිය නිසා නගර හුදෙකලා කර ඇති බැවින් නගර සෝභනියන්ට මෙන්ම සල්ලාලයන්ටද ඒ පැත්තට පැමිණීමත් මංමාවත් දිගේ සංචරණයත් තහනම්ය.
නමුත් කාමිල් වැනි හෙරොයින් මත්ලෝලීන්ට නම් නගරය තුළ කිසිම සංචරණ නීතියක් ඇති බව අපට දකින්නට නොලැබුනි. කාට තහනම් වුවත් මත්ලෝලීන්ට නම් නගරයේ කිසිම සංචරණ නීතියක් අදාළ නොවේ. ඔවුන් හිතු හිතු පරිදි රිසිසේ බැරියර් අස්සෙන් චෙක් පොයින්ට් අස්සෙන් රිංගමින් අඳුරු විදි දිගේ ඇවිදයමින් තමන්ට අවශ්‍ය රාජකාරි ටක්කෙට කර ගනී.
කාමිල් කියන අන්දමට ඔහු මේ යන්නේත් ඩයස් පෙදෙසේ සෝන්ඩර්ස් පාරේ ඩෑම් වීදියේ රෝහිණී පටුමගේ කාපිරි මුඩුක්කුවේ හුදෙකලා කලාප වල වෙසෙන අසරණ ජනයාට අත්‍යවශ්‍ය සේවා සැපයීමටයි. කිලිටි දිරච්ච කරත්තය තුළ ඔහු මොනවා අරන් යනවාදැයි මම නොදනිමි. නමුත් තම අත්‍යවශ්‍ය සේවා නිමකර සාංචිආරච්චි වත්ත ලොක්ගේට් ලේන් එක පංචිකාවත්ත පිචස් ලේන් එක අස්සෙන් කරත්තය තල්ලූ කරගෙන අනෙකුත් අවශ්‍යතාද කරගෙන එන බව මම හොඳාකාරව දනිමි.
”සැට් එක කන්න බොන්න නැතිව නන්නත්තාර වෙන නිසා ගම් වලට ගිහිං බොස්. සමහරුන්ව පොලිස්සියෙන් කුදලංගෙන ගිහිං රිදීගම දාලා. ඉතුරු ඈයෝ නිරෝධායනේ. මං යනව යන්න මට ලේට් වෙනවා බොස්’’
කියා කාමිල් කරත්තයද තල්ලූ කරගෙන උසාවිය පැත්තට ඇදුනි.
පීපල්ස් පාක් බස් නැවතුම දෙසට යන පාර පට්ට පාළුය. මිනිස් පුළුටක් නැත. පාර දිගේ තවත් ඉදිරියට ඇදෙද්දි මා දැක්කේ බස් නැවතුමට මෙහයින් දකුණට ඇති ඩයස් පෙදෙසට හැරෙන තැන එක් තැනැත්තෙක් දඩාවතේ යන බලූ රෑනකට කෑම දෙන අන්දමයි. මම ඔහු සමග කතාවට වැටුනෙමි. හේ පූජකයෙකි. වෙනත් විදියට කිවහොත් ඩයස් පෙදෙසට හැරෙන තැනම ඇති ගැලවීමේ හමුදා (සැල්වේෂන් ආමි) දේවස්ථානය බාරව කටයුතු කරන කපිතාන් ධම්මික සිසිර කුමාර පූජකතුමායි. ඔහු පදිංචිව සිටින්නේත් එම දේවස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ සිව්වන මහලේමය.
”ඉස්සර මේ පැත්තේ සැරිසරපු අයාලේ යන කට්ටියට මොනවා වෙලා ඇද්ද කැප්ටන් ?’’
මම ඔහුගෙන් ඇසුවෙමි
වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු කතා කාරයෙකි. බිනුමෙහි රුසියෙකි. ඔහු කියන දේ අසා සිටිද්දී කතාවට මෙන්ම වැඩටත් හපනෙක් බව මට හැඟුනි.
”දැන් ඒ අය මෙහෙ නැහැ සහෝදරයා. සමහරු මුල් කාලෙම තමන්ගෙ ගම් බිම් වලට ගියා තවත් අයව පොලිසියෙන් නිරෝධායන කඳවුරු වලට යොමු කළා. කාගෙවත් පිළිසරණක් නැති අසරණ අය කීප දෙනෙක් විතරක් ඔය වහපු ගොඩනැගිල්ලක් අස්සෙ හැංගිලා මොනා හරි ලැබෙන දෙයක් කාලා ජීවත් වෙනවා. දැන් අපේ දේවස්ථානෙ වහල නිසා ඉරිදටවත් දේව පූජාවක් නැහැ. මගේ රාජකාරියයි දේවකාරියයි දෙකම දැන් පාරේ අසරණ වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ටයි බලූ ?නටයි කන්න බොන්න දෙන එකයි. ඔය කීප දෙනෙක්ම එනව මාත් එක්ක දුක කියල වේදනාව බෙදා ගන්න. අල්තාරය ළඟ දණ ගහල සමහරු තම දුක් ගැනවිල්ල දෙවියන්වහන්සේට කියද්දි හිත් පිත් තියෙන අයෙකුට නම් දරා ගන්න බැහැ සහෝදරයා’’.
ධම්මික පූජක තුමා කියන අන්දමට ඒ අවට සිටි ගණිකාවන් රැසක්ම ඔහු පෞද්ගලිකව දනී. ඒ අය කිසිවෙක් සතුටින් ජීවත් නොවන්නියන් බව ඔහු පවසයි. සමහරු එම වෘත්තියේ යෙදෙන්නේ කිසිම කැමැත්තකින් නොවේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් ගෙයක් දොරක් නැති අන්ත අසරණියන්ය. තවත් සමහරුන් බොහෝ භයානක නිදන්ගත රෝග වලින් ශාරීරික සහ මානසික පීඩා විඳී. තවත් සමහරුන් මේ රස්සාව කරන්නේ ගමේ සිටින දුප්පත් දෙමාපියන් සහ දරු මල්ලන්ට කීයක් හෝ යවන්නටය.
ඒ අතර මත් කුඩට ඇබ්බැහි වූ කාන්තාවන්ද රැසක් සිටින බව ඔහු පවසයි.
”මට එහෙම අයත් නිතරම හමු වෙනව මතින් නිදහස් වෙන්න උපකාර ඉල්ලගෙන මා ගාවට අනන්තවත් එනවා. පිරිමි අයව නං මං රජයේ සහ අපේ තියෙන මං දන්න පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට යොමු කරනවා. ඒත් මත්ලෝලී කාන්තාවන් ආවම ඒ අයව යොමු කරන්න නිසි ක‍්‍රමවේදයක් සහිත පහසුකම් තියෙන තැනක් ලංකාවේ කොහෙවත් නැහැ. එහෙම එකක් කවුරුහරි හරි විදියට පටන් ගන්නව නම් ඒක ඉතා හොඳයි.’’
ගණිකා තැරුව්කරුවන් කියා කොටසක් අප සමාජයේ සිටී. ඔවුන්ට කියන්නේ පිම්පියා කියාය. මෙම කාන්තාවන් වැඩිදෙනෙකුව හසුරවනු ලබන්නේ මෙම පිම්පියන් විසින් බව මම දනිමි. පසුගිය දිනවල පිටකොටුවේ ගැහැනුන් විකුණු පාලිත, සංකර්, විජේ, අජා වැනි පිම්පියන්ද අද ආගිය අතක් නැත.
කවදා කොරෝනා වසංගතය අවසන් වේදැයි අප කිසිවෙකුටවත් කිව නොහැක. නමුත් ඉතාම ඉක්මණින් අප මෙහි කෙලවරක් දැකිය යුතුය. කොරෝනා හදන කොවිඞ් 19 වෛරසය මෙන්ම මනුෂ්‍යා දිළිඳුකමට ඇද දාන මත්පැන් මත්ද්‍රව්‍ය ව්‍යසනය මිනිස් සාරධර්ම පිරිහෙන ගණිකා සහ සල්ලාලකම් වැනි අවර අපචාර ක‍්‍රියාද සමාජයෙන් ඉතා ඉක්මණින් ඉවත් කර දැමිය යුතුය.