සිරිපා කරු­ණාව අකා­රු­ණික වී ජීවිත 3ක් අහිමි වූ ඛේදා­න්තය

කළුතර දිස්ත්‍රික්කය හරහා කළු ගඟ ගලා බසින නාර්තුපාන ප්‍රදේශයට සමීප උඩුවර, අඟුරුවාතොට හා උක්කල්ල යන ගම්මානවල එකම සහෝදර බැම්මකින් බැඳී සිටි තරුණ පිරිසක් විය. සමීප ගම්මානවල විසූ ඔවුන් සියලු දෙනාම පාහේ ඈතින් හෝ ඥාති සබඳතා ඇති අය වූහ. ඊටත් වඩා සමීප වූ හේතුව වූයේ ඔවුන් වොලිබෝල් ක්‍රීඩාව සඳහා එකතු වූ අය වීමයි. වසරේ කිසිදු මාසයක නොයෙදෙන ආකාරයේ නිවාඩු පෙළක් ජනවාරියේ යෙදී තිබෙනු දුටු මිතුරන් මෙම නිවාඩුවේ උපරිම වින්දනයක් ලබා ගැනීම සඳහා චාරිකාවක් යාමට කතිකා කර ගත්හ.

“අපි එහෙනම් සිරිපාදෙ යමු” පිරිසේ එකෙකු කළ යෝජනාවට සැවොම කැමැත්ත පළ කළහ.
ගමන යොදාගෙන තිබුණේ ඉකුත් 15 වැනිදාට ය. එදින දිවා ආහාරයෙන් පසු අඟුරුවාතොටට එකතු වූ පිරිස 13 දෙනෙකි. ගමනට යොදා ගත් වෑන් රථයට ගොඩවූ ඔවුන් හොරණ – රත්නපුර මාර්ගය ඔස්සේ සිරිපාදය කරා ගමන් ආරම්භ කළහ.

සවස 6 පමණ වනවිට ඔවුන් සිටියේ සිරිපා අඩවිය පෙනෙන මානයේ සිරිපාගම ශ්‍රී පළා බද්දල ප්‍රදේශයේය. සිරිපා අඩවියෙන් ගමන් අරඹන කළු ගඟ ගලා ගියේ ද ඒ ආසන්නයෙනි.

“අපි මෙතැනින් නාලාම යමු.”

පළාබද්දල බස් නැවතුම අසලින් කළු ගඟට බැස ගත් පිරිස හොඳ හැටි නා කියා ගත්තේ රාත්‍රියේ සිරිපා කරුණා කරන බලාපොරොත්තුවෙනි.

පිරිස කළු ගඟට බැස රිසිසේ නා ගොඩ වූ අතර අවසානයේ ඉතිරි වූයේ සිවුදෙනකු පමණි. ඒ ජසෙන්තු හේවගේ ටෙරාන් සිල්වා (අවු. 23), සමන් ක්‍රිශාන්ත වීරක්කොඩි (අවු. 40), ඔහුගේ පුත් පසිඳු නිම්සර (අවු. 11) සහ විමුක්ති මධුසංක (අවු. 21) යන අයයි.

එක්වරම අහස වැහි බර විය. සිරිපා අඩවිය අඳුරු වළාවන්ගෙන් වැසී ගියේය. සෙමෙන් ගලා බසිමින් තිබූ කළු ගඟ ද රළු විය. හදිසියේම කළු ගඟ දිගේ මහා ජල කඳක් පැමිණි අතර එය කළු ගඟේ රත්නපුර මුවගම ජල මාපකයේ සටහන් වූයේ අඩි 5 ½ක් ලෙසය. ගඟේ නාමින් පීනමින් සිටි සිව් දෙනා මහා ජල කඳත් සමඟ පහළට ගසාගෙන ගියේය. මින් දිවි බේරා ගැනීමට හැකි වූයේ 21 හැවිරිදි විමුක්ති මධුසංඛට පමණි. ඔහු ඒ බියකරු අත්දැකීම විස්තර කළේ මෙසේය.

“අපි නාමින් ඉන්නකොට එකපාරටම ලොකු ජල කඳක් ආවා. අපව පහළට ගහගෙන ගියා. මම ලොකු අත්තක ඉල්ලුනා. පස්සේ ඒ ගමේ කට්ටිය ඇවිත් කඹ දාලා මාව බේරා ගත්තා.

මෙම සිද්ධියත් සමඟ මුළු ගම ම එකම මළගමක් විය. පෙරුම් පුරා සිරිපා වන්දනාවේ ගිය පිරිසෙන් තුනක් පෙට්ටිවලින් ආපසු ගමට ඒ යැයි ඔවුන් කිසිසේත් නොසිතූහ.

මිය ගිය තිදෙනා අතරින් එක් අයකු වූයේ පනාගොඩ යුද හමුදා කඳවුරේ සාමාන්‍ය සෙබළකුවූ 23 හැවිරිදි ජසෙන්තු හේවගේ ටෙරාන් සිල්වායි.

අප ඔහු පදිංචිව සිටි උඩුවර, උක්කල්ල නි‍ෙවසට යනවිට ඔහුගේ සොයුරිය වූ කල්පනී උදයංගනීත් (අවු. 17), සීයා වූ ගුණරත්න වීරසිංහත් (අවු. 66), මිත්තනිය වූ ලීලා උඩුමුල්ලත් (අවු. 65) එහි රැඳී සිටියහ. ඔවුන් සිටියේ දරාගත නොහැකි තරම්වූ සිත් වේදනාවෙනි.

ටෙරාන් සිල්වාගේ සීයා වූ ගුණරත්න වීරසිංහ යන අය තම මුනුබුරා පිළිබඳ අපට කීවේ මෙසේය.

“මේ අපේ ලොකු දුව වූ ටෙක්ලා වීරසිංහගේත් රුවන්සිරි සිල්වාගේත් වැඩිමහල් පුත්‍රයායි. ඒත් ඔහු කුඩා කාලෙ ඉඳලම හැදුණේ වැඩුණේ අප ළඟයි. පුතා යුද හමුදාවේ රැකියාවට ගියේ බොහෝම කැමැත්තෙන්. මාසෙකට දවස් 10ක් නිවාඩු ලැබෙනවා. එතකොට ගෙදර එනවා. ඒ ආවමත් මේ යාළුවො කට්ටිය එකතු වෙලා වොලිබෝල් ගහනවා.

එදා ගෙදරින් පිටවෙලා යද්දි “මං සිරිපාදෙ ගිහින් එන්නම් සීයෙ කියල අපිට වැඳලයි ගියේ. අපිට ගොඩක් ආදරෙන් හිටපු අපි හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටපු දරුවා තමයි ඔය” යැය සීයා කීවේ දෑසේ කඳුළු රඳවාගෙනය. ටෙරාන්ගේ මිත්තනිය වූ ලීලා උඩුමුල්ල ද (අවු. 65) තම මුනුබුරා පිළිබඳ මෙසේ කීවාය.

“මේ දරුවා ක්‍රීඩාවලට දක්ෂයි. ක්‍රිකට් හා වොලිබෝල් ක්‍රීඩා කරනවා. අඩි 6 ට වඩා උසයි. ක්‍රීඩා දස්කම් නිසාම මදුරාවල විද්‍යාලයේ ඉගෙනුම ලබමින් හිටපු පුතාට හොරණ විද්‍යාරත්නයට යන්න පුළුවන් වුණා. එයාගෙ පාසලේ ක්‍රිකට්, වොලිබෝල් තරග හැම එකක්ම බලන්න මමත් සීයාත් කොහේ තිබුණත් යනවා. එදා යන්න ලෑස්ති වෙලා මං ලස්සනයි ද කියලත් මගේ ළඟට ඇවිත් ඇහුවා. ‘ඔව් මගේ පුතා ලස්සනයි’ කියල මම එතකොට කිව්වා.” යැයි මිත්තනිය හඬා වැලපෙමින් කීවාය.

ඊළඟට අප ගියේ මෙම ඛේදවාචකයේ පිය පුතු දෙදෙනකු අහිමි වූ උඩුවර පිහිටි හිටපු නාවික හමුදා සෙබළකු වූ ක්‍රිශාන්ත වීරක්කොඩිගේ (අවු. 40) නි‍ෙවසටය. මෙම අනතුරින් ඔහු සමඟ සිටි ඔහුගේ දෙවැනි පුතු වන මදුරාවල මහා විද්‍යාලයේ 6 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි පසිඳු නිම්සරත් (අවු. 11) මිය ගොස් තිබුණි.

අප එම ‍නිෙවසට යන විට සමන් ක්‍රිශාන්තගේ පියා වන ඩබ්ලිව්. ජුබිලිස් සිල්වා, මව වන ටී. රම්‍යලතා, බිරිය වන රෝහිනි වීරසිංහ සහ අනෙක් දරුවන් දෙදෙනා සමඟ තවත් ඥාතීන් එම නි‍ෙවසේ එක්රොක්වී සිටියහ.

බිරිය වන රෝහිනී වීරසිංහ අප සමඟ මෙසේ කීවාය.

“මේ සිද්ධියෙන් මට මගේ ස්වාමි පුරුෂයාත් දෙවැනි දරුවාත් අහිමි වුණා. අපේ වැඩිමහල් පුතා මදුරාවල මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ. තුන්වැනි දරුවාට වයස අවුරුදු තුනයි. කලින් නාවික හමුදාවේ සිටි සැමියා පසුව ඉන් ඉවත්වී පෙදරේරුවකු වශයෙන් රැකියාව කළා.

මේ ගමන පිටත් වන විට දෙවැනි පුතා තාත්තා එක්කම යන්න ඕන කියල කියා හිටියා. එයා නිතරම ඉන්නෙ තාත්තා එක්කමයි. ලොකු පුතාත් යන්න ලෑස්ති වුණා. ඒත් මං එයාගෙ වෙලාව බලලයි තිබුණේ. මාස තුනක් යනතුරු අපල බව කියා තිබුණා. ඒ නිසා එයාව යැව්වෙ නැහැ. මගේ සහෝදරයෙක් පිටරට ඉඳලා ළඟදි එනවා. එයා ආපුවහම යමු කියල ලොකු පුතාව මම නවත්ත ගත්තා.

වෙනදා මම වෙලාවල් බලනකොට හැමෝගෙම වෙලාවල් බලවනවා. ඒත් මේ පාර සල්ලි එච්චර තිබුණෙ නැති නිසා ලොකු පුතාගෙ විතරයි බැලුවෙ. අනිත් අයගෙ වෙලාවලුත් බැලුවා නම් මෙහෙම දෙයක් වෙන්න නොදී වළක්වා ගන්න තිබුණා කියල මට හිතෙනවා.

දැන් මොනව කරන්නද? මම තනියම මේ දරුවො දෙන්නත් එක්ක ඉස්සරහට මුහුණ දෙන්න ඕන. ඒත් මම රස්සාවක් කරන කෙනෙක් නෙමෙයි. ඉස්සරහට මොනවා හරි කරන්න වෙනවා” යැයි ඇය කීවේ හඬා වැලපෙමිනි.

මෙම සිද්ධිය වූ සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ වැසියන් කීවේ මෙවැනි කතාවකි.

“සිරිපා මළුවම අඳුරු කරල කළුවර වෙනව දැක්කොත් කල්පනාකාරී වෙන්න ඕන. එහෙම වුණාම වැඩි වෙලාවක් යන්න කලින් කළු ගඟේ ජල මට්ටම ඉහළ යනවා. එක පාර එන සැඩ පහරට හසුවෙලා ගහගෙන යනවා. මේ සිදුවෙලා තියෙන්නේ ඒ වගේ අනතුරක් තමයි. මෙතැනට හරියට ලයිට් නැහැ. මෙතැන අනතුරුදායකයි කියල බෝඩ් නැහැ. පිට පළාත්වලින් එන අය අමාරුවෙ වැටෙනවා.”

ශ්‍රී පලාබද්දල ප්‍රදේශවාසීන් පෙන්වා දෙන කරුණු හා දෙන අවවාද සිරිපා වන්දනාවේ ගොස් ජීවිත අහිමි කර ගත් තිදෙනාට අදාළ නොවේ. ඒ අවවාද අදාළ වනුයේ ඉදිරියේදී එම ස්ථානය පසු කර යාමට බලාපොරොත්තුව සිටින අයටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30
Video thumbnail
ගංඟා ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් ඉන්න..ආපදා කළමණාකරනයෙන් විශේෂ දැනුම්දීමක්
03:23
Video thumbnail
පූගොඩ නගරයත් ජලයෙන් යටවෙයි..ඉණ දක්වා වතුර පිරිලා - පාර ගංඟාවක් වගේ
02:33