ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරුවලින් මරණ ගණන ඉහළට

මෙම වසරේ (2021) මේ වනවිට දිවයින පුරා සිදු වූ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරුවලින් හත්දෙනකු මියගොස් දහසය දෙනෙකු තුවාල ලබා ඇත.

මියගිය පිරිසෙන් දෙදෙනකුම කාන්තාවන් වන අතර මෙම කාලයේ දේපළ හානි 18ක් අනාවරණය වී තිබේ. මෙම වසරේ ඊයේ (20 වැනිදා) වන විට ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරු 847ක් අනාවරණය වී ඇත. ඉන් 797ක්ම ලිට්රෝ ගෑස් සිලින්ඩර් ආශ්‍රිතවද, සිද්ධීන් පනහක් ලාෆ් සමාගමේ සිලින්ඩර් ආශ්‍රිතවද අනාවරණය වී ඇත.

මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට නොවැම්ඉර් 28 වැනිදා දක්වා ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් 28ක් සිදුව ඇති අතර ඉතිරි සිදුවීම් 819ම සිදුව ඇත්තේ නොවැම්බර් මාසයේදීය.

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත සිදුවීම් දිගින් දිගටම අනාවරණය වූ නොවැම්බර් මාසයේද ලිට්රෝ සමාගම වෙළෙඳපොළ වෙත ගෑස් සිලින්ඩර් ලක්ෂ 28ක් නිකුත් කර ඇති අතර, ඉන් සිලින්ඩර් 797ක් ආශ්‍රිතව සිදුවීම් අනාවරණය වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 0.02%කි.

ලාෆ් සමාගම නොවැම්බර් මාසයේ වෙළෙඳපොළට නිකුත් කර ඇති ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව දෙලක්ෂ අසූදහසක් වන අතර එම සිලින්ඩර් 50ක් ආශ්‍රිතව සිදුවීම් අනාවරණය වේ. එය ප්‍රතිශතයක් ලෙස 0.01%කි.

2020 වසරේදී ගෑස් සිලින්ඩර් ආශ්‍රිත සිදුවීම් 31ක්ද, 2019දී සිද්ධීන් 18ක්ද හඳුනාගෙන ඇත.

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත සිදුවීම් සෙවීමට ජනාධිපතිවරයා ඉකුත් නොවැම්බර් 30 වැනිදා පත්කළ කමිටුව සිදුවීම් 847 ආශ්‍රිතව කළ විමර්ශනයේදී සිදුවීම් 477ක්ම ගෑස් ලිපෙහි මුහුණත වීදුරු කොටස බිඳීයාම් සහ ගෑස් ලිප් පුපුරා යාම් ලෙස හඳුනාගෙන ඇත.

එම කමිටු වාර්තාව ඊයේ (20 වැනිදා) ජනාධිපතිවරයා වෙත භාරදී ඇත.

මෙහිදී ගෑස් කාන්දුවීම් 299ක්, ගෑස් බටයට හානිවීම් 52ක්, රෙගියුලේටරයට හානි සිදුවීම් 15ක් අනාවරණය වී තිබේ. ගෑස් සිලින්ඩරයට හානිවීම් 1ක් හා අධික තාපය හේතුවෙන් වෙනත් ද්‍රව්‍යයකට හානි සිදුවීම් 3ක්ද සිදුව ඇතැයි කමිටුව හෙළිකර ඇත. කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් මේ ආශ්‍රිත සිද්ධීන් 23ක් හඳුනාගෙන ඇත.

ගෑස් සම්බන්ධව මෙම වසරේ සිදුව ඇත. මරණ හතෙන් දෙකක් නොවැම්බර් 19 වැනිදා සහ දෙසැම්බර් 1 වැනිදා මහනුවරින් අනාවරණය වී ඇත.

මාතලේ උඩුපිහිල්ලේදී නොවැම්බර් 19 වැනි ගෑස් ළිප දැල්වීමට යාමේදී පිලිස්සීමෙන් චන්ද්‍ර කුමාරි රෝහල් ප්‍රතිකාර ලබන අතරේ මියගොස් ඇත. මහනුවර, පිදුරුවැල්ලේ අනෝකා සෝමසිරි නමැත්තිය දෙසැම්බර් 1 වැනිදා, ගෑස් ළිප දැල්වීමට යාමේදී ගිනි ඇවිළී පිලිස්සී මියගිය බව අනාවරණය වී ඇත.

ඔක්තෝබර් 21 වැනිදා කඳපොළ අංක 4 ලයිමේ විදුලි ස්විචය ක්‍රියාත්මක කිරීමේදී නිවසේ තිබූ ගෑස් කාන්දුවෙන් ගිනිගෙන රෙංගසාමි විශ්වනාදන් යන අය මියගොස් තිබේ.

කොට්ටාව, පෙනරගොඩැල්ල හන්දියේ නිවසක ගෑස් උඳුන දැල්වීමේදී ඇඳුමට ගිනි ඇවිළී ඉමාෂා මදුෂිකා මරණයට පත්වූයේ ඔක්තෝබර් 19 වැනිදාය.

වැලිකඩ, කොස්වත්ත පාරේ නිවසක ගෑස් කාන්දුවකින් ගිනි ගැනීමක් නිසා දිනුක් නාරංගොඩ යන අය සැප්තැම්බර් 24 වැනිදා මියගොස් ඇත.

මරදාන, මාතර බත් කඩයේ පසුගිය මාර්තු 24 වැනිදා සිදුවූ ගෑස් කාන්දුවකින් ලසන්ත චන්ද්‍රකුමාර නමැති අය මරණයට පත්ව තිබේ.

තලාතුඔය, පුලියද්ද නිවෙසක ගෑස් කාන්දුවක් තිබියදී පනහක් දැල්වීමට ගිය හීන් මැණිකේ යන අය තුවාල ලබා පසුව මරණයට පත්වී ඇත්තේ මාර්තු 20 වැනිදාය. මේ අතර ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර් හඳුනාගැනීම සඳහා ලිට්රෝ සහ ලාෆ් සමාගම් රතු සහ කළු පැහැති ලේබලය සහිතව සිලින්ඩර නිකුත් කිරීම ආරම්භ කළ පසුද ගෑස් ආශ්‍රිත සිදුවීම් 12ක් වාර්තා වී තිබේ.

ලිට්රෝ සමාගම රතු පැහැති ලේබලය පසුගිය පළමු වැනිදා හඳුන්වාදුන් අතර ලාෆ් සමාගම කළු පැහැති ලේබලය පසුගිය 20 වැනිදා හඳුන්වා දෙන ලදී.