අංශභාගය, දියවැඩියාව, කොලොස්ටරෝල්,ඇතුළු තවත් රෝග කීපයක් සමග වසර කීපයක් දැඩි ලෙස අබලන් වූ කුඩා පැල් පැල්පතක මහත් දුෂ්කරතා රැසක් මැද ඉතා සමගියෙන් ජීවත්වන වයෝවෘද්ධ යුවලක් පිළිබඳ අපට වැලිකන්ද ඈත දුෂ්කර ගම්මානයක් වන රුවන්පිටිය ගම්මානයෙන් අපට අහන්නට ලැබුනා.
අසල්වාසීන්ගේත් පිහිට උපකාර මැද මෙලෙස අපමන දුක් කන්දරාවක් උසුලා ගනිමින් දිවි ගෙවන්නේ, රුවන්පිටිය අංක 45 /ඒ,ලිපිනයේ පදිංචිව සිටින 70 වියැති ඩී. පියදාස ලේකම්ගේ , සහ 65 හැවිරිදි .වී. කේ. යසවතී යන දෙපලයි.
රුපියල් 500 ක වැඩිහිටි දීමනාව පමණක් ලබන මෙම යුවළට මෙතුවක් රජයෙන් ලැබෙන සමෘද්ධි සහනාධාරයවත් ලැබී නොමැත.ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවකු සිටින මෙම යුවළට එම දරුවන්ට සැලකීමට තරම් වත්කමක් නොමැති අතර ඔවුන් ද විවාහ වී කොළඹ ඇතුළු ප්‍රදේශවල වෙනව ජීවත්වත් වන බව මේ යුවල අප සමග පැවසුවා.
මසකට වරක් මෙම යුවල ආයුර්වේද බෙහෙත් ලබා ගැනීම සඳහා දිඹුලාගල නාමල්පොකුණ ප්‍රදේශයේ පිහිටා ඇති පුද්ගලික ආයුර්වේද මධ්‍යස්ථානයක් වෙත යන අතර ඊට ද වැය වන රුපියල් 6000ක පමණ මුදල ගම්වාසීන් විසින් එකතු කර ලබාදෙන බවද එම මවුපිය යුවළ මහත් සංවේදීව අප සමග සඳහන් කර සිටියා.වයෝවෘද්ධ වුවත් ආදරයේ තවමත් කිසිඳු වෙනසක් නැති යසවතී මාතාව ඇයට කොතරම් අමාරු, අගහිඟකම් තිබුණද, කලට වෙලාවට තම සැමියාගේ සියලුම ආහාර බෙහෙත් ආදිය සපුරන්නීය
තවමත් හරිහැටි වැසිකිලියක්, මෙන්ම නිවසක් ද නොමැතිව දිවි ගෙවන මෙම අසරණ යුවළගේ පිහිට ආරක්ෂාව ගම්වාසීන්මය.
“අනේ මහත්තයෝ මට පුළුවන් කාලේ පොල්කටු හැඳි හදලා විකුණලා තමයි ජීවත් වුණේ, පාපැදි වැඩපොළකුත් දාගෙන කාලයක් ඒකෙන් ජීවත් වුණා. හිටිහැටියේම මට අංශභාග හැදුනා, දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා, මගේ සේරම වැඩ කරන්නේ නෝනා. එයාටත් ප්‍රෙෂර් දියවැඩියාව තියෙනවා, දුවල පුතාලට අපිට සලකන්න තරම් වත්කමක් නෑ. එයාලත් ඉන්නේ ගොඩක් දුර පළාත්වල. අහල පහල අය තමයි අපිට බොන්න වතුර ටිකක් ගෙනත් දෙන්නෙ.ඔය කෑමට බීමට මොනවා හරි දුන්නොත් තමයි ඉතින් වෙන අපිට පිහිටක් නෑ කාගෙන්වත්. මේ ගෙයි කොයි වෙලාවේ වැස්සට කඩා වැටෙයිද කියල විශ්වාසයක් නෑ..ඉතිං පුළුවන් කෙනෙක්, දානපතියෙක්, පින්වත් පරිත්‍යාගශීලීන් ඉන්නව නං අපි දෙන්නා පණ අදින්න කලින් එක කාමරයක් හරි හදලා දෙනවා නම් නිවන් දකින පින්කමක් අපේ මහත්තයෝ…” පියදාස ලේකම්ගේ මහතා කදුළු පිරි දෑසින් තම දුක්බර කතාව අප සමග බෙදා ගත්තේ එලෙසය.
කෙතරම් රෝගීව සිටියත් දවස පුරා තම සැමියාගේ ආරක්ෂාවට සිටිමින් ඔහුව රැකබලා ගන්නා යසවතී අප සමග පැවසුවේ තවත් අනුවේදනීය කතාවකි.
“දරුවන්ට අපට සලකන්න තරම් වත් කමක් නෑ මහත්තයෝ.මගේ මහත්තයා පුළුවන් කාලේ පොල්කටු විකුණලා, බයිසිකල් වැඩ කරලා අපිට සැලකුවා,දරුවො ලොකු මහත් කරා. එහෙම ඉද්දි තමයි එයාට අංශබාගේ හැදුණේ , නොහිතූ වෙලාවක එයා එක්තැන් වුනා.එයාගේ හැම වැඩක්ම මම කරනවා.වැහි කාලෙට මේ පැල්පත තෙතබරිත වෙන්වා. අපි දෙන්නා නොතෙමෙන තැනකට ගිහින් වැස්ස පායනකම් කල්පනා කරගෙන ඉන්නවා.අපිට තියන ලොකුම බය ඉදිරියේදී එන මහ වැසිවලට මේ අබලන් ගෙයි කොයි වෙලාවේ අපේ ඇඟට කඩා වැටෙයිද කියලා.මට දුක නැගිටින්නවත් බැරි මගේ මහත්තයා ගැන…
කවුරුන් හෝ උදවු කළොත් අපි ඒක පින් දෙමින් බාරගන්නවා..”
දෑසට ඉබේ ගලා ආ කඳුළු බිඳු පිසලමින් යසවතී තවත් කීමට බොහෝ දෑ තිබියදී ඇගේ දුක්බර කතාව එතකින් හමාර කළාය.
මේ අසරණ මවුපිය යුවළ වෙනුවෙන් ඔබට යමක් කළ හැකි නම් ඒ නිවන් ලබනා මහා පින්කමකි.
ජීවිතයේ අවසන් කාලය නොතෙමී ගෙවා ගන්නට හැකි පුංචි කාමරයක් , සෙවනක් ලබා දිය හැකි පිංවතෙක් සිටී නම් පහත අංක හරහා ඔවුන් සම්බන්ධ කර ගන්න…
0778259560 අයි.ඩී.පියදාස ලේකම්ගේ
ගොසිප් ලංකා නිව්ස් මනම්පිටිය වාර්තාකරු – නිමල් ජයරත්න