මුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කෙරුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා වී තිබෙනවා.

2026 අයවැය මගින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් අලුතින් ඉදි කරන දූරකථන සන්නිවේදන කුළුණු සඳහා පනවා ඇති බද්දෙන් තාවකාලික සහනයක් ලබා දීම අපේක්ෂා කෙරෙනවා.

මෙම පනත් කෙටුම්පත 2026 අප්‍රේල් මස ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති අතර, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව හෝ ක්‍රියාත්මක වන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු නිදහසක් ලබා දීම එහි ප්‍රධාන ප්‍රතිපාදනය වනවා.

එමෙන්ම 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද කාරක සභාවේ අවධානයට ලක් වුණා.

වත්මන් බදු අනුපාතයන් නීත්‍යානුකූලව විධිමත් කිරීම හා යාවත්කාලීන කිරීම මෙන්ම, බදු ගෙවීම් පැහැර හරිනු ලැබූ අවස්ථාවල (Bad Debts) අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කිරීම සහ 2014 වසරේ සිට ක්‍රියාත්මක බදු අනුපාතයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම බව මෙහිදී නිලධාරීහු කාරක සභාවට පැහැදිලි කළා.

මෙහිදී බදු අනුපාතයන් විධිමත් කිරීම සහ නෛතික රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වූ අතර, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු ( Telecom Levy ) අඩු කිරීමේ අවසරය ලබාදීමට අදාළ යෝජනාව සඳහා අනුමැතිය හිමි නොවුණා.

එම යෝජනාව ඉදිරිපත් කරමින් නිලධාරීන් සඳහන් කළේ වත්මන් පනත යටතේ පාරිභෝගිකයන් විසින් ගෙවීම් පැහැර හරින අවස්ථාවලදී බදු ගණනය කිරීම සම්බන්ධ පැහැදිලි ප්‍රතිපාදන නොමැති බැවින්, නියමිත කාලසීමාවක් තුළ ක්‍රියාකරුවන්ට නොගෙවූ බිල්පත් මත තිබෙන බදු මුදල්වලින් අඩු කිරීමට අවසර ලබා දීමට යෝජනා කර ඇති බවයි.

කෙසේ වෙතත්, සුළු ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන නොලැබෙන පසුබිමක, සීමිත විශාල සමාගම් පිරිසකට මෙම සහනය ලබා දීම අසාධාරණ බව කාරක සභාව අවධාරණය කරන ලදී.

එක් ප්‍රධාන සමාගමක් 2022 වසරේ සිට මෙම බදු සහනය ඉල්ලා සිටින බවත්, එය සමස්ත වෙළඳපොළ සාධාරණත්වයට බාධාවක් විය හැකි බවත් කාරක සභාව විසින් පෙන්වා දුන්නා.

පාරිභෝගිකයාගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් වන අතර ඔවුන්ගේ අපොහොසත් වීම රජයේ ආදායම අඩු කිරීමට හේතුවක් නොවිය යුතු බව ද කාරක සභා සභාපතිවරයා අවධාරණය කර සිටියා.

ඒ අනුව, නොගෙවූ බිල්පත් මත තිබෙන බදු අඩු කිරීමේ ප්‍රතිපාදනය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා එය ඉදිරි දිනයකදී නැවත සලකා බැලීමට කාරක සභාව තීරණය කෙරුණා.

මේ අතර, මාර්ගගත සූදු ක්‍රියාකාරකම් සඳහා රජයේ ලාංඡනය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකා රජයේ ලාංඡනය භාවිත කරමින් “Licensed” යනුවෙන් සඳහන් කර මාර්ගගත කැසිනෝ ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳව කාරක සභාව විමසූ අතර, අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙතෙක් කිසිදු මාර්ගගත සූදු ආයතනයකට බලපත්‍ර නිකුත් කර නොමැති බවයි.

මෙම, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා කාරක සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබා දීමට කාරක සභාව තීරණය කරන වුණා.

තව ද මූල්‍ය, බදු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන හතරකට අදාළ නියෝග සලකා බැලූ අතර, ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව, ආනයනික භාණ්ඩ වර්ගීකරණය හා බදු අය කිරීම විධිමත් කිරීම සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සහ නිෂ්පාදන බද්ද යටතේ සංයෝජිත වර්ගීකරණ සංකේතාංක (HS Codes) සඳහා නව ජාතික උපබෙදුම් හඳුන්වා දීම පිළිබඳ නියෝග සලකා බැලුනා.

තව ද, දේශීය රෙදිපිළි කර්මාන්තය සඳහා සාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ සෙස් බද්ද ඉවත් කොට 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18%ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීමට අදාළ නියෝග මෙහිදී සලකා බැලුනා.

මෙම වෙනස්කම හේතුවෙන් ආනයන අවස්ථාවේදී ගෙවිය යුතු බදු ප්‍රමාණය ඉහළ ගිය ද, VAT බද්ද සඳහා ලියාපදිංචි වී ඇති ආයතනවලට එම බදු මුදල Credit ලෙස නැවත ලබා ගත හැකි බැවින්, ඔවුන්ට ඉන් සහනයක් සැලසෙන බව නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම, ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම උදෙසා, ආපදා සහන ගෙවීම් රිසිට්පත් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීමට අදාළ නියෝගය ද මෙහිදී සලකා බැලුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted