කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග සැප්තැම්බර් මස 30 වැනිදා ගිවිසුම් අත්සන් කළේ ය.
මෙමඟින් එහි 51%ක කොටස් අදානි සමූහයට අයත්වූ අතර, අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් 34%කුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%කුත් අයත් විය. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයක් මත සිදුකෙරුනකි.
අදානි සමූහ ව්‍යාපාරය යටතේ පාලනය වන සමාගම්වල කොටස් සඳහා සිදුකෙරුණු ඇතැම් විදේශ ආයෝජනයන් මඟින්, ඉන්දියානු කොටස් වෙළඳපොළ තුළ විශාල අර්බුදයක් ඇතිවනු ඇතැ යි හාහෝවක් පසුගිය ජුනි මාසයේ දී පැතිර ගියේ ය.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අදානි සමූහ ව්‍යාපාරයට අයත් ඇතැම් සමාගම්හි කොටස්වල මිළ පහත වැටුණි.
පසුගිය දශකය තුළ අදානි සමාගමේ කොටස්වල මිළ සීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. කෙසේ නමුත් ගෞතම් අදානි මෙවන් අසාමාන්‍ය අන්දමේ සීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගත්තේ ඔහුට මෝදි රජය හා සමීප සබඳතා ඇති නිසාවෙන්යැ යි චෝදනා එල්ල වී ඇත.
මෙවන් පසුබිමක් තුළ, කර්මාන්තකරුවෙකු ලෙස අදානිගේ ආරම්භය සිදුවූ අයුරුත්, පසුගිය වසර දහස තුළ ඔහු වඩ වඩාත් සමෘධිය ලැබූ අයුරුත් පිළිබඳ සොයාබැලීම රසවත් තොරතුරු ඉස්මතු කරවනු ඇත.
ඉන්දියාවේ දී පොදුවේ දක්නට ලැබෙන සිදුවීමක් වන්නේ, දශක ගණනාවකට පෙර පිහිටැවූ පවුලේ ව්‍යාපාරයක් හිමි ගුජරාටි පවුලකින් එන තරුණයෙකු 1990 දී ඉන්දියාවේ ආර්ථිකය විවෘත කිරීමත් සමග එම ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්කිරීම යි. මීට බොහෝ උදාහරණ ගුජරාටි පවුල් අතරින් සොයාගත හැකි ය. 2000 වර්ෂයෙන් පසු ලොව පුරා සිය නම රැන්දූ අම්බානිවරුන් ද තවත් එවන් පවුලකි.
මුකේෂ් අම්බානිට සිය පියා වූ ධිරුබායි අම්බානිගෙන් ‘රිලයන්ස් ගෘප් ඔෆ් ඉන්ඩස්ට්‍රීස්’ නම් කර්මාන්ත සමූහය උරුම විය. නමුත් ගෞතම් අදානි තමාට උරුම වූ දෙයින් සෑහීමකට පත්වීමට සමත් නොවූ අයෙකි. ඔහු එසේ සෑහීමට පත්වූයේ නම්, අදටත් ඔහු රෙදිපිළි තොග වෙළඳසැලක් පවත්වාගෙන යමින් සිටිනු හෝ නිමි ඇඳුම් වෙළඳසැලක් තුළ හිඳ සිටිනු වන්නට තිබුණි. එහෙත්, තමන් විසි වයස්ව සිටිය දී ගෞතම් අදානි වැදගත් තීරණයන් දෙකක් ගත්තේ ය.
පොතපතින් පාඩම් උගැනීම තමාට වැඩදායී නොවනබව අදානි වටහා ගත්තේ ය. එනිසා ඔහු වාණිජ උපාධියේ දෙවැනි වසරේ සිටිය දී විශ්වවිද්‍යාලයයෙන් ඉවත්විය. ඔහුගේ දෙවැනි තීරණය වූයේ පවුලේ රෙදිපිළි ව්‍යාපාරය සියතට ගැනීම ප්‍රතික්ෂේපකර, දියමන්ති ව්‍යාපාරය තෝරා ගැනීම යි. එනිසා ඔහු මුම්බායි නගරය කරා සංක්‍රමණය වූයේ ය.
ගෞතම්, ශාන්තිලාල් අදානිට දාව උපන් දරුවන් සත්දෙනාගෙන් අයෙකි. ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය සාර්ථකව සිදුවෙමින් පැවතුන ද, ගෞතම් අදානි සතුවූයේ ඊට වඩා විශාල සිහිනයන් ය. ඔහුගේ අභිලාෂයන්ට සහාය දීමට ඔහුගේ පියා අපොහොසත් විය. එනිසා, ඔහු තම පුත්‍රයාට සිය ආශිර්වාදයත්, රුපියල් සියයකුත්, මුම්බායිහි විසූ ඥාතීන් කිහිප දෙනෙකුගේ ලිපිනයනුත් ලබා දුන්නේ ය.
විසි හැවිරිදි ගෞතම් අහමදාබාද් සිට මුම්බායි කරා පැමිණියේ ය. ඔහු දියමන්ති වෙළඳාම සඳහා ප්‍රසිද්ධ සවේරි මාර්කට්ටුව සම්ප්‍රාප්ත විය.
පළමු වසර දෙක-තුන ඇතුළත ඔහුගේ කාර්යය වූයේ දියමන්ති වර්ගකිරීම යි. ඉන්පසු ඔහු තමාගේම දියමන්ති තැරැව්කාර ව්‍යාපාරයක් ඇරඹී ය. ඊළඟ වසර තුන ඇතුළත ඔහු දියමන්ති ව්‍යාපාරයේ දසලක්ෂපතියන්ගේ ගොන්නට එකතුවිය. එවිට ඔහුගේ වයස අවුරුදු 30ක්වත් නොවීය.
වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ දක්ෂ අදානි
ඕනෑම ව්‍යාපාරයක තැරැව්කරුවකු ලෙස කටයුතු කරන ඕනෑම අයෙකු චාටු බස් දෙඩීමේත්, පීඩාකාරී අවස්ථාවන්හි දීත් “සිහිබුද්ධියෙන්” යුතුව කටයුතු කිරීමේත් සමතෙකු විය යුතුබව පැවසේ. ඔබට මිනිසුන්ගේ විවිධ ස්වභාවයන් දරාගෙන ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන්නේ එවිට ය.
මෙය ගෞතම් අදානිට සෑම විටම පහසුවූ කටයුත්තක් විය. ඇත්තෙන්ම, ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඔහු ප්‍රසිද්ධව සිටියේ වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු ලෙස යි. ව්‍යාපාරික කතිකා අතින් ගත්කල ඔහුට සමකළ හැකි කිසිවෙකුත් නොසිටියේ ය. ඔහු මුම්බායි වෙත පැමිණ වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ දී ඔහුගේ මේ ගතිලක්ෂණ ප්‍රයෝජනවත්බව ඔප්පුවීම ඇරඹුනි.
2015 දී ඔහුගේ ‘අදානි පවර් කම්පනි’ නම් බලශක්ති සමාගම විසින් උඩුපි ජල විදුලි ව්‍යාපෘතිය ඉන්දියානු රුපියල් කෝටි 6,300කට (ශ්‍රී ලංකා රු. බිලියන 171ක් පමණ) මිලටගත් අවස්ථාවේ දී, පැය 100ක වාර්තාගත කාලයක් තුළ සාකච්ඡා අවසන් කරන්නට ඔහු සමත්විය. සාමාන්‍යයෙන් එවැනි ගනුදෙනුවක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණීමට වසර කීපයක් ගතවේ.
පාසල් කාලයේ පටන්ම අදානි සිහින මැව්වේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ජල මාර්ග සංවර්ධනය කිරීමට ය. පාසල් විනෝද චාරිකාවක දී දුටු කන්ඩ්ලා වරාය ඔහු වශී කරන්නට සමත්විය.
අදානි එක්ස්පෝට්ස් (අදානි අපනයන) සහ අදානි පෝට්ස් (අදානි වරාය) සමාගම් කර්මාන්ත ලෝකයට අවතීර්ණ වන විට, දුම්රිය මාර්ග හරහා රටේ ප්‍රධාන වරායන් එකිනෙකට සම්බන්ධ කිරීමට අදානි එවක දුම්රිය ඇමති නිතිෂ් කුමාර් පෙලඹවීය. එමඟින් වෙළඳාමට සහ කර්මාන්තයන්ට අනුබල දිය හැකි ආකාරය පෙන්වන ඉදිරිපත් කිරීමක් ඔහු විසින් සිදුකෙරුනි. ඊළඟ දුම්රිය අයවැයේ දී, රටේ වරාය හයක් දුම්රිය මාර්ගයක් හරහා සම්බන්ධ කෙරෙනබව නිතිෂ් කුමාර් නිවේදනය කළේ ය. එය ද අදානි විසින් කෙටි කලකින් අවසන් කළ ගනුදෙනුවකි.
ගෞතම් අදානි බලපුළුවන්කාර පුද්ගලයින් නම්මා ගැනීමෙහිලා ප්‍රවීණයෙකු විය. මෙය ඔහුට, දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනයේ දී බලපෑම් එල්ල කිරීමට සහ තමාට වාසිදායක වන අයුරින් තීරණ ගැනීම මෙහෙයවීමට උපකාරී විය. මෙම ගතිලක්ෂණය ව්‍යාපාරික ලෝකය තුළ දී හැඳින්වුණේ “දැක්ම” යනුවෙනි.
දැන් අපි නැවතත් අදානිගේ මුල් කාලය වෙත හැරෙමු. ඔහු මුම්බායිහි දියමන්ති ව්‍යාපාරය තුළ මුල් විහිදුවමින් සිටි සමයේ, ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන මන්සුක්ලාල් අහමදාබාද්හි ප්ලාස්ටික් ව්‍යාපාරයක් ආරම්භකර තිබුණි. ඔහු ගෞතම්ගෙන් උපකාර පැතුවේ ය.
1981 දී ගෞතම් සංවිහිත කර්මාන්ත අංශයකට නිල වශයෙන් ඇතුළු වූයේ සිය සොහොයුරාට උපකාර කිරීමේ ඒකායන අරමුණෙනි.
එහෙත් ඔහු කර්මාන්තශාලාව හසුරවමින් සිටි අවධියේ දී එම ව්‍යාපාරයේ අනාගතය දුටුවේ ය. එනිසා ඔහු ප්ලාස්ටික් ව්‍යාපාරය පොලිමර් සහ PVC ප්ලාස්ටික් ආනයනය කරන සමාගමක් බවට හැරවීය.
සමාගම කුඩා ව්‍යාපාරයන් සඳහා ආනයනිත PVC සැපයුවේ ය. අදානි අධිරාජ්‍යයේ ප්‍රථම ඒකාබද්ධ වෙළඳ සමාගම වූ ‘අදානි එක්ස්පෝට්ස්’හි ගමන එසේ ඇරඹිණි. මෙම සමාගම අද වන විට “අදානි එන්ටර්ප්‍රයිසස්” යනුවෙන් හැඳින්වේ. එය අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සමාගම යි.
1991 දී ඉන්දියාවට විවෘත ආර්ථිකයත්, පුද්ගලීකරණයත් පැමිණි පසු, අදානි තම ව්‍යාපාරය පුළුල් කිරීමට සිහින මැව්වේ ය. සැබැවින් සිදුවූයේ ඔහුගේ සිහින සැබෑවීමට පටන් ගැනීමබව ද යමෙකුට පැවසිය හැකි ය.
පුද්ගලික ජැටියක් ඉදි කිරීමේ ඔහුගේ සිහිනය ගුජරාට් ප්‍රාන්ත රජය විසින් සැබෑ කෙරිණි. මුන්ද්‍රා වරායේ කළමනාකාරීත්වය සඳහා කොන්ත්‍රාත් ලබාදීමට ලංසු කැඳවූ අවස්ථාවේ, එම ලංසුව දිනාගත් තැනැත්තා වූයේ ගෞතම් අදානි ය. ඔහු වරාය කළමනාකරණ ව්‍යාපාරය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය.
මේ වන විට ඉන්දියාවේ විශාලතම පුද්ගලික වරාය කළමනාකරණ සමාගම වන්නේ අදානි පෝට්ස් සමාගම යි. මුන්ද්‍රා වරාය පුද්ගලික කළමනාකරණය යටතේ පවතින අතර, සෑම වසරකම ටොන් 21කට ආසන්න භාණ්ඩ ප්‍රමාණයක් මේ හරහා ප්‍රවාහනය කෙරේ. 1996 දී ස්ථාපිත අදානි පවර් සමාගම ඉන්දියාවේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම යි.
1991 සිට විසි වසරක් තුළ, ඇමරිකානු ඩොලර් බිලියන 78ක් වටිනා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනංවන්නට ගෞතම් අදානි සමත් වී තිබේ. මෙය, පසුගිය ජුනි 14 වන දා ඔහුගේ කොටස්වල මිළ පහත වැටීමට පෙර, ඔහුගේ ව්‍යාපාර සමූහයේ වටිනාකම යි. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහු ආසියාවේ දෙවැනියට ධනවත්ම තැනැත්තා ද, මුළු ලෝකයෙන්ම දහතුන් වැනියට ධනවත්ම තැනැත්තා ද වන්නේ ය.
නමුත් මෙම කතාවේ වැදගත්ම කොටස වන්නේ එය නොවේ. අදානි මේ මහා ධනය සහ කාර්මික සමෘද්ධිය අත්කර ගත්තේ පසුගිය වසර දහය ඇතුළත ය. ඔහු ඉදිරිගාමී කර්මාන්තකරුවෙකි. නමුත් 2012 වසරේ සිට ඔහුගේ සමාගම්වල කොටස්වල මිල ආශ්චර්යවත් අයුරින් ඉහළ නැගුනේ ය. මෙම කාලසීමාව තුළ අදානි සමූහ ව්‍යාපාරයේ කොටස්වල අගය 400%කින් පමණ ඉහළගොස් තිබේ. අදානිට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග තිබූ සමීප සබඳතා නිසා, ඉතා වැදගත් ජාතික මට්ටමේ ව්‍යාපෘතීන් කීපයක සහභාගීත්වය හිමිකර ගැනීමට ඔහුට හැකිවූයේයැ යි චෝදනා එල්ල වී ඇත.
උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය