‘ලොක්ඩවුන්’ එකෙන් විපක්ෂය හදන්නේ ආණ්ඩුව ‘ෂට්ඩවුන්’ කරන්නද?

‘මේ ආණ්ඩුව ජනතාව කියන කිසි දෙයක් අහන්නේ නෑ. ජනතා මතයට හිස නමන්නේ නැහැ. මහ උද්දච්ච ආණ්ඩුවක්…’

මේ පසුගිය කාල සීමාවේ ප්‍රධාන විපක්‍ෂය වන සමගි ජනබලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රටට කියපු කතාවය.

‘කොරෝනාවෙන් මිනිස්සු මැරෙනවා, දිනපතාම වාගේ හමුවෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යනවා. මේව රෝහල් පද්ධතියට දරාගන්න බෑ. මේ තත්ත්වය නවත්වන්න නම් වහාම රට ලොක්ඩවුන් කරන්න…’

මේ සෞඛ්‍ය අංශ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රටට කියපු කතාවය.

‘සතියකට රට වසා දමන්න…’

මේ අන්තිම මොහොතේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් ගෝඨාභයට එවපු ලිපියය. ඒ ලිපියෙන් මහනාහිමිවරුන් අවධාරණය කර තිබුණේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යමින් සතියක කාලයකට හෝ රට වසා දමා හෝ මේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්නා ලෙසය.

ඒ විතරක් නොව ආණ්ඩුව ඇතුළෙන්ද පසුගිය සතිය වන විට රට වසා දමන ලෙසට විශාල බලපෑමක් නැඟෙන්නට විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුණේ මේ මොහොතේ රට වසා දැමීම අත්‍යවශ්‍ය යැයි කියාය. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ 10ක් ගෝඨාභයට ලියුමක් ලියමින් රට සති 3කට වසා දමන ලෙස ඉල්ලා සිටියේය.

හැබැයි කරුමෙ කියන්නේ මේ හැමෝම රට වසා දමන ලෙසට ආණ්ඩුවට බලපෑම් කළත්, රටක් වහලා ආර්ථිකය ඉදිරියට අරන් යන ආකාරය ගැන කතා නොකිරීමය.

විශේෂයෙන්ම විපක්‍ෂය සතියක් නොව අවුරුද්දක් හරි රට වහලා තියනවාට උඩින්ම කැමැතිය.

මොකද විපක්‍ෂය බලන් ඉන්නේ රට දිගින් දිගටම වසා තබා රටේ ආර්ථිකය බිමට සමතලා වනතෙක්ය. රට දිගින් දිගටම වහද්දී මාස්පතා පඩිගන්න ලක්‍ෂ 35ක ජනතාව කෙසේ වෙතත් එදිනෙදා කීයක් හරි හොයාගන්නා ලක්‍ෂ 80ක් විතර වන සාමාන්‍ය ජනතාව දවස් දෙක යද්දී හොම්බෙන් යන බව විපක්‍ෂය දනී. ඒ ජනතාවට මේ තියෙන ආර්ථික අමාරුකම් යටතේ රුපියල් දෙදහසක් තියා දාහක්වත් දෙන්න ආණ්ඩුවට වත්කමක් නොමැති බව විපක්‍ෂය දනී. ඒ නිසා විපක්‍ෂයට ඕනෑ රට වසා දමා හාල් ටිකක්, සීනි ටිකක්, තේකොළ ටිකක් ගන්න සල්ලි නැති ජනතාව උසිගන්වා පාරට ගන්නටය.

ඊළඟට රට වසා දැමුවාට පසු සමාගම්වල, ආයතනවල, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සේවක පඩිනඩි ගෙවාගන්න වත්කමක් නැතුව යන බව විපක්‍ෂය දනී. එවිට ලක්‍ෂ විස්සක් පමණ වූ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පඩි අඩු වන බව විපක්‍ෂය දනී. එවිට පෞද්ගලික අංශයේ සේවකයන්ද ආණ්ඩුවට එරෙහිව උසිගන්වා පාරට ගත හැකි බවට විපක්‍ෂය දැනටමත් ගණන් හදා ඇතිවාට සැක නැත.

ඊළඟට රාජ්‍ය සේවකයන්ය. මේ ලෝක වසංගතය හමුවේ රාජ්‍ය ආදායම බින්දුවට වැටී ඇති බව කාටවත් අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැත. ඒ නිසා දැනටමත් විපක්‍ෂය ලක්‍ෂ 15ක් පමණ වූ රාජ්‍ය සේවකයන්ගේ පඩි කැපීමට ආණ්ඩුව සූදානමින් සිටින බවට කියමින් රජයේ සේවකයන් හා වෘත්තීය සමිති අවුස්සමින් සිටී. විපක්‍ෂය බලන් ඉන්නේ මේ විදියට රාජ්‍ය සේවකයන්වත් උසීගන්වලා කොහොම හරි ආණ්ඩුවට එරෙහිව පාරට බස්සවා ගන්නටය.

රට වහන්න යැයි කියමින් විපක්‍ෂය කෑමොර දෙන්නේ මේ කියන කරුණු කාරණා යටි හිතේ තියාගෙන මිස ජනතාව ගැන උපන් ආදරයකින් නොවේ. එහෙම ජනතාව ගැන ආදරයක් තිබ්බා නම් යහපාලන ආණ්ඩුව කාලේ කිසිදු ප්‍රශ්නයක් නැතිව තිබියදීත් ජනතාවට සහන ලබා දීමට ඔවුන් කටයුතු කළේ නැත. ජනතාවට ආදරයක් තිබුණා නම් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ජීවිත 300කට අධික සංඛ්‍යාවක් බිලිගත් පාස්කු ප්‍රහාරය එල්ල වන්නේ නැත. ජනතාවට ආදරයක් තිබුණා නම් ජනතාවට සහන ලබා දෙන්න තිබූ මහබැංකුවේ සල්ලි බැඳුම්කර වංචාවෙන් සොරාගන්න ඉඩ තියන්නේ නැත.

ඒ නිසා රට වසා දැමීමේදී ජනතාවට සිදුවන අපහසුකම් ගැන මෙන්ම විපක්‍ෂයේ නූල් සූත්තර ගැනද ආණ්ඩුව දෙපාරක් සිතිය යුතුය. ඒ නිසා කියන්නන් වාලේ රට වසා දමා අපි වාගේ දුර්වල ආර්ථිකයක් ඇති රටකට ඉදිරි ගමනක් නැත.

ඒකට හොඳම උත්තරය දුන්නේ පසුගිය සතියේ ඕස්ටේ්‍රලියානු අගමැති ස්කොට් මොරිසන්ය. මොරිසන් රූපවාහිනී මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ රට දිගින් දිගටම වසා දමා ඉදිරියට යෑමට නොහැකි යැයි කියාය. එම නිසා අගුලු දැමීම යනු තවදුරටත් වසංගතයට නිශ්චිත පිළියමක් නොවන බවත්, එන්නත්කරණය ඉහළ නංවා ගනිමින් රට විවෘත කළ යුතු බවත්, කොරෝනා සමග ඉදිරියට යෑමට සැලසුම් කළයුතු බවත් මොරිසන් එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඕස්ටේ්‍රලියාව යනු ආර්ථික අතින් ඉහළින්ම සිටින රටකි. අදටත් ඕස්ටේ්‍රලියාවේ නගර කිහිපයක් වසා දමා ඇති බැවින් එම නගරවැසියන්ට දීමනාවක් පවා ගෙවීමට එරට රජය පියවර ගෙන ඇත. එසේ තිබියදීත් එරට අගමැතිවරයා කියන්නේ ලොක්ඩවුන් කිරීම යනු තවදුරටත් වසංගතයට උත්තරයක් නොවේ යැයි කියාය.

මොරිසන් විතරක් නොව ගෝඨාද සිටින්නේ මේ ස්ථාවරයේය. රට වසා දමන ලෙසට බොහෝ දෙනා කියද්දී ගෝඨා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබුණේද එම කාරණයය. එනම් එන්නත්කරණය ඉහළ නංවා හැකි ඉක්මනින් රටේ ජනතාව එන්නතින් සන්නද්ධ කොට රට විවෘතව පවත්වාගෙන යායුතු යැයි කියාය.

අද රට වසා දමා තිබුණත් එන්නත්කරණය දිගටම සිදුකිරීමට ගෝඨා පියවර ගෙන ඇත්තේ ඒ නිසාය. මොකද කොරෝනා පළමු අදියරේදී හතරගාතේ දා බිම ඇදවැටුණු රටවල් යළි ගොඩ ආවේ එන්නත්කරණයෙන් බව ගෝඨා දනී. කොරෝනා පළමු රැල්ලේදී ඉතාලිය, ඇමෙරිකාව, ප්‍රංශය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ලක්‍ෂ ගණනින් දිනපතාම පාහේ ජනතාව මියගියහ. එම රටවල් සති ගණන්, මාස ගණන් වසා දැමීමට ඒ ඒ රටවල පාලකයෝ පියවර ගත්හ.

හැබැයි පසුව එන්නත්කරණය ආරම්භ කිරීමත් සමග එම මරණ ගණන සහ ආසාදිතයන් ප්‍රමාණය අඩුකර ගැනීමට අද එම රටවල් සමත්ව සිටී. අද ඒ රටවල මරණ විශාල වශයෙන් පහත වැටී ඇත. රටවල්ද පවතින්නේ විවෘතවය.

ඒ නිසා හැමදාම රටවල් වහගෙන වසංගතයට මුහුණ දීම අද වන විට ප්‍රායෝගික නොවන උත්තරයක් බවට පත්ව ඇත. වසංගතයට උත්තර සෙවිය යුත්තේ රට විවෘත කොට එන්නත්කරණය වේගවත් කිරීම හරහාය. එසේ උත්තර සෙවීමේදී ජාතික ප්‍රශ්නයක් සේ සලකා ආණ්ඩුව පමණක් නොව විපක්‍ෂයද, රටේම ජනතාවද යම් කැපකිරීමක් කළ යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41