පුත්තලම වනාතවිල්ලූව ලැක්ටොස් වත්තේදී 2018 වසරේ දී නීති විරෝධී අන්දමින් ගිනි අවියක් ජීව උණ්ඩ, පුපුරණ ද්රව්ය ඇතුළු නීති විරෝධී ද්රව්ය රැස්කිරීමේ චෝදනා හතරකට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය වසර 12 බැගින් බරපතළ සිරදඬුවම් නියම කරනු ලැබුවා.
වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ මොහොමඩ් ඊබ්රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර් සහ මොහොමදු නවුෆර් මවුලවී යන විත්තිකරුවන් දෙදෙනාටයි.
මෙම නඩුවේ තුන්වෙනි විත්තිකරු ද වරද පිළිගැනීමට සූදානම් බව අද (26) ප්රකාශ කළ අතර හෙට (27) දිනයේ දී ඔහුට දඬුවම් නියම කරන බව විනිසුරු මඬල්ල සඳහන් කළා.
අද මෙම නඩුව විශේෂි ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් වන ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි, නයෝමි වික්රමසේකර යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
ඒ අනුව අධි චෝදනා පත්රයේ සඳහන් 1,2,8, සහ 9 යන චෝදනා හතරටවරද පිළිගැනිමෙන් අනතුරුව හතරවන සහ පස්වන විත්තිකරුවන් දෙදෙනා එලෙස චෝදනා හතරකට වරදකරු වූ අතර බරපතළ වැඩ සහිත වසර 48ක සිරදඬුවම් නියම කළා.
එම සිරදඬුවම් කාලය එකවර එනම් වසර 12 කින් ගෙවී යන ලෙසද, ඔවුන් රැඳවුම් නියෝග සහ සිරදඬුවම් විදි වසර තුනහාමාරක කාලය එකී වසර 12 සිරදඬුවම් කාලයෙන් අඩු කර ලබා දෙන ලෙසද නියෝග කර සිටියා.
කුමන චෝදනාවක් එල්ල වී තිබුණත් තම අධිකරණය විත්තිකරුවන් ලෙස සලකා කටයුතු කරන බවත් සෑම විත්තිකරුවෙකුටම මානුෂීය අයිතිවාසිකම් ඇති බවත් මනාව වටහා ගනිමින් තම අධිකරණය කටයුතු කරන බවත් විවෘත අධිකරණය හමුවේදී පැවසූ සභාපති විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ල සඳහන් කළේ කෙසේ නමුත් සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයට පැවරී ඇති වගකීම හා යුතුකම ප්රමුඛ කොට සලකා තම අධිකරණය කටයුතු කිරීමට සෑම විටකම වග බලා ගන්නා බවයි.
නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාද ඔවුනට එරෙහිව ගොනුකර ඇති චෝදනා කෙටි ක්රමයකින් අවසන් කර ගැනීම සඳහා ඉදිරි නඩු දිනයේදී සලකා බලන බවද එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විනිසුරු මඩුල්ලට කියා සිටියා.
පුත්තලම මහාධිකරණයේ විභාග වූ මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනකු පාස්කු මහ නඩුවේ විත්තිකරුවන් වීම නිසා එම නඩු සමගාමීව කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයට මාරු කෙරුණා.
ඒ අනුව පුත්තලම මහාධිකරණය ඉදිරියේ විභාග වූ සාක්ෂි පිළිගෙන එතැන් සිට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණා.
මෙම වරද පිළිගත් චුදිතයන් අතරින් පළමු සහ දෙවැනි විත්තිකරුවෝ ඇප මත නඩුවට ඉදිරිපත් වන තැනැත්තෝ වු අතර තමන් වරද පිළිගෙන කෙටි ක්රමයකට නඩුව අවසන් කිරීමට කැමැති බව එම විත්තිකරුවෝ පසුගියදා අධිකරණයට දැනුම් දුන්නා.
අනතුරුව ඔවුන්ට එරෙහි චෝදනා යළි කියවාදුන් අවස්ථාවේ සියලුම චෝදනාවලට වැරදිකරුවන් බව ඔවුහු දෙදෙනා කියා සිටියහ. ඉන්පසු මහාධිකරණ විනිසුරු මඬුල්ල ඔවුන්ට වසර 50 බැගින් සිර දඬුවම් නියම කළා.
මේ වන විට මියගොස් සිටින ෂැංග්රිලා සහ කටුවාපිටිය බෝම්බකරුවන් වන සහරාන් හෂීම් සහ මොහොමදු හස්තූන් සමඟ එක්ව ගිනිඅවි, පුපුරණ ද්රව්ය සහ ඒවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්ය ද්රව්ය තොගයක් නීත්යනුකූල බලයක් නොමැතිව එකතු කිරීම සහ එම ද්රව්ය භාවිත කර පුපුරන ද්රව්ය නිෂ්පාදනය කිරීම, ඒවා එකතු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
එම චෝදනාවලට අමතරව සාහසික ක්රියා ඇති කිරීම මඟින් විවිධ ජන කොටස් නැතහොත් ආගමික කණ්ඩායම් අතර වාර්ගික, ජාතිවාදී අදහස් ව්යාප්ත කිරීම මඟින් එදිරිවාදිකම් ඇති කිරීමේ චෝදනාව යටතේ ද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබෙනවා.
ලැක්ටෝස්වත්තේ තිබී යූරියා නයිට්රේට් කිලෝග්රෑම් 100කට අධික ප්රමාණයක් ඇතුළු විශාල පුපුරණ ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණා.
තවද එහිදී ඩෙටනේටර් 99ක්, සජීවී උණ්ඩ 12ක්, පුපුරන ද්රව්ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන නයිට්රික් ඇසිඩ් සහ යූරියා තොගයක්, තුවක්කුවක්, සජීවී වෙඩි උණ්ඩ 12ක් සොයාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලැක්ටෝස්වත්ත ඉඩමේ හිමිකරු වන පළමු විත්තිකරු වන අබු හනීපා මොහොමඩ් මුෆීස් හෙවත් අබු දහිදා හට පාස්කු චුදිතයන්ට පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑම සඳහා ඉඩම බදු දීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබෙනවා.
පළමු චුදිත අබු හනීපා මොහොමඩ් මුෆීස් (අබු දහිදා)ට අමතරව අමීර් හම්සා මොහොමඩ් හමාස් (අබු සාෆියා), මොහොමඩ් සර්පු ආදම් ලෙබ්බෙ (ගෆූර් මාමා), මොහොමඩ් ඊබ්රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොම්මදු ඊබ්රහිම් මොහොම්මදු නවුෆර් (නවුෆර් මවුලවි) සහ මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් (සාජිද් මවුලවි) යන අය නඩුවේ සෙසු විත්තිකරුවෝ වනවා.
විත්තිකරුවන්ට එරෙහිව 1988 අංක 22 සහ 1982 අංක 10 දරණ පනත්වලින් සංශෝධිත 1979 අංක 48 දරණ ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) පනතේ 2(1)ඊ සහ 3(ආ) වගන්ති යටතේ සහ 2011 අංක 41 සහ 2013 අංක 03 දරණ පනත්වලින් සංශෝධිත 2005 අංක 25 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනතේ 3(2අ) සමඟ කියවිය යුතු 3(4) වගන්ති යටතේ අධිචෝදනා 14ක් ගොනුකර තිබෙනවා.
පුපුරණ ද්රව්ය, යූරියා සාම්පල සහ විත්තිකරුවන්ගේ දුරකථන වාර්තා ඇතුළු නඩු භාණ්ඩ 92ක් හා සාක්ෂිකරුවන් 57 දෙනකු පැමිණිල්ල විසින් නම් කර තිබෙනවා.
විත්තිකරුවන් ත්රස්ත පුහුණු කඳවුරු පවත්වාගෙන ගිය බව කියන පුත්තලම, කුරුණෑගල, කැකුණගොල්ල සහ උලපනේ යන ප්රදේශවල සිවිල් සාක්ෂිකරුවෝ සහ රජයේ නිලධාරීහු කිහිපදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් අතර වනවා.
රජයේ අධි නීතිඥ සජිත් බණ්ඩාර පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.
