ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවට වන්දි නොගෙවීම නිසා කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව නිසි ලෙස වන්දි සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුත්ත ඇතුළු වග උත්තරකරුවන් සිව්දෙනෙකු බැදුම්කර මත මුදාහැරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝග කළා.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වග උත්තරකරුවන් 05 දෙනෙකුට වන්දි ගෙවන ලෙස ඉකුත් මාර්තු මස නියම කර තිබුණා.

මෙහිදී වග උත්තරකාර කෙහෙළිය රඹුක්වැල්ලට අධිකරණය විසින් නියම කරන ලද රුපියල් මිලියන 75ක මුදලින් රුපියල් මිලියන 20ක් ඔහු විසින් ගෙවා තිබෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

අදාළ වන්දි මුදල් නිසි පරිදි නොගෙවීම තුළින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.