රත්ගම, බූස්ස, මලිදූව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක ඊයේ (26) පෙරවරුවේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැකකෙරුණු පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
එම මළ සිරුර සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන දියත් කළ අතර එහිදී අනාවරණය වුණේ, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන කොමාන්ඩෝ සලින්ත නමැත්තාට ජීව උණ්ඩ 260ක් විකිණීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් නොවැම්බර් 03 වැනිදා ඇප මත මුදාහැරුණු වැඩතහනමට ලක්ව සිටි යුද හමුදා ලුතිතන් කර්නල්වරයා බවයි.
නලින් තුෂාර ද සොයිසා නමැති වැඩතහනමට ලක්ව සිටින යුද හමුදා ලුතිතන් කර්නල්වරයා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩතහනමට ලක්වන විට ඔහු මල්ලාවි යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියා.
පෙරේදා (25) දිනයේ පස්වරුවේ දී ඔහු සිය මිතුරන් සමඟ මත්පැන් පානය කර ඇති පසුව එලෙස මත්පැන් පානය කළ මිතුරෙක් සහ තවත් අයෙක් සමඟ බූස්ස ප්‍රදේශයට ගොස් තිබෙනවා.
බූස්ස ප්‍රදේශයේ පිහිටි අදාළ ක්‍රීඩාංගනයක අසළදී ඔහු ජීප් රථයෙන් බැස ඔහුන්ගෙන් සමුගෙන ගොස් ඇති අතර, ඔහු ජීප් රථයෙන් බැසගිය ස්ථානයට ආසන්නයේ දී පසු දා ඔහුගේ නිසල සිරුර සොයාගෙන තිබුණා.
පොලිසියෙන් සිදු කරන ලද ප්‍රශ්නා කිරීමේදී ඔහුගේ මිතුරන් පවසා ඇත්තේ, ඔහු ජීප් රථයෙන් බැස යාමෙන් පසු කුමක් සිදුවූයේ ද යන්න ඔවුන් නොදන්නා බවයි.










