මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක්

මහවැලි ගඟ ද්‍රෝණියේ පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඒ අනුව, එම ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ එම මාර්ග භාවිත කරන රියදුරන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එමෙන්ම, මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවට ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.