කොග්ගල දී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්‍රවාහන බලපත්‍රය තාවකාලිකව අවලංගු කරයි

කොග්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී ඊයේ (25) පස්වරුවේ දුම්රියේ ගැටුණු බස් රථයේ ප්‍රවාහන බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කර තිබෙනවා.

කොට්ටාව ප්‍රදේශයේ උපකාරක පංතියක ළමයින් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක නිරත වෙමින් තිබූ මෙම බස් රථය, ගාල්ල – කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණා.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ, මරදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියයේ ‘විසේකාරයා’ නැමැති බස් රථය ගැටී එම අනතුර සිදුවී තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිටි බවට පොලීසිය පවසනවා.

එම අනතුරින් සිසුන් ඇතුළු 13 දෙනෙකු තුවාල ලැබූ අතර, තුවාල ලැබූවන් උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

සිද්ධියට අදාළ බස් රථය චාරිකා බලපත්‍රයක් ද නොමැතිව සිසුන් රැගෙන විනෝද චාරිකාවකට ගොස් ඇති බව විමර්ශණවලදී හෙළිවු බවත්, ඒ සමගම එම බස්රථයේ මගී ප්‍රවාහන බලපත්‍රය තාවකාලිකව අහෝසි කිරීමට කටයුතු කළ බවටත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා.

අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව එම බස්රථයේ බලපත්‍රය ස්ථිරව අවලංගු කරනවාද? නැත්නම් යම් කාලසීමාවකට පමණක් අත්හිටුවනවා ද යන්න සළකා බවටත් සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා.