බෙංගාල බොක්කේ නැගෙනහිර – මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා මේ වනවිට වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද (26) දින බෙංගාල බොක්කේ නැගෙනහිර – මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත් වීමට ඉඩ පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉන්පසු එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර, හෙට (27) දිනය පමණ වන විට බෙංගාල බොක්කේ බටහිර – මධ්යම මුහුදු ප්රදේශයේ දී ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ පවතිනවා.
.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කෙරෙනවා.
උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්යම සහ උතුරු මැද පළාත්වල සහ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
