හෝමාගම පොලිසියේ නිලධරීන් කණ්ඩායමක් විසින් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රඳවා සිටි තරුණයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර ඇති බව ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන් චෝදනා කරනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැත් 29 හැවිරිදි එක්දරු පියෙක්.
අද (25) අලුයම අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිසිය වෙත රැගෙන ආ තරුණයා බැලීමට ඔහුගේ ඥාතීන් උදෑසන පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා.
එම අවස්ථවේ අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් සිටි අදාළ තරුණයා පොලිස් නිලධාරීන් හතර දෙනෙකු විසින් යළි ඔසවාගෙන පැමිණි බවත් එහිදී පහරදී ඔහුව ඝාතනය කර ඇති බවයි ඥාතීන් චෝදනා කරන්නේ.
පොලිස් සිර මැදිරියෙහි වැතිර සිටි තරුණයා ඥාතීන්ගේ ඉල්ලීම මත පොලිස් නිලධාරීන් විසින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව ඥාතීන් පවසනවා.
මියගිය තරුණයාගේ ඥාතීන් හෝමාගම මූලික රෝහල් භූමියේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ ඔවුන්ව පාලනය කිරීමට ද පොලිස් නිලධාරීන් රෝහල වෙත කැඳවීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වුණේ.
