මාර්ග යෝග්‍යතා සහ ආරක්ෂණ සහතිකය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

මාර්ග යෝග්‍යතා සහ ආරක්ෂණ සහතිකය හඳුන්වාදීම සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා හා විශ්ලේෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සහතිකය අදාළ කරගැනීමේ දී විශේෂයෙන්ම මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන කෙරෙහි අවධානය යොමුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මාර්ග යෝග්‍යතා උපායමාර්ගික කමිටුව මඟින් තවදුරටත් සාකච්ඡා සහ විශ්ලේෂණ සිදුකරමින් පවතිනවා.

ඒ අනුව,
සහතිකය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන දිනය,
සහතිකය ලබාගැනීම අනිවාර්ය වන වාහන වර්ග,
වාහනයේ ධාවන දුර (කිලෝමීටර් ප්‍රමාණය) හෝ වෙනත් අදාළ නිර්ණායක,
සහතිකය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය,
අදාළ නීතිමය හා පරිපාලනමය විධිවිධාන

පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් අනතුරුව සුදුසු තීරණ ගැනීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එබැවින්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණ සහ නිල උපදෙස් නිකුත් කරන තෙක්, සහතිකය අනිවාර්ය කිරීමේ දිනය හෝ අදාළ කොන්දේසි පිළිබඳව තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සියලුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් සහ අන්තර්ගත නිර්මාණකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්විය හැකි අතර, මේ සම්බන්ධයෙන් නිවැරදි හා යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල නිවේදන කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.