රටවල් වෙත ණය දීමේදී චීනයට තිබූ යටි අරමුණක් ගැන හෙළිදරව්වක්

අප්‍රිකානු රටවලට ණය ලබාදීමේදී චීනය සිය දේශපාලන බලපෑම ව්‍යාප්ත කිරීමේ අරමුණින් කටයුතු කර ඇති බවට නව විමර්ශනයකින් හෙළි වී තිබෙනවා.

චීන රජයේ පාලනය යටතේ පවතින ඉන්ඩස්ට්‍රියල් ඇන්ඩ් කොමර්ෂල් බෑන්ක් ඔෆ් චයිනා හෙවත් අයි.සී.බී.සී. බැංකුව, දූෂණ චෝදනා පැවති රටවල් සහ ආයතන වෙත ද ණය ලබාදී ඇති අතර, එම ආයෝජන චීනයේ භූදේශපාලනික අරමුණු සමඟ සම්බන්ධ වී තිබූ බව ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වුණේ.

“චයිනා කැපිටල්” නම් මෙම වාර්තාව සකස් කිරීම සඳහා 2005 සිට 2024 දක්වා කාලයට අදාළ අයි.සී.බී.සී. බැංකුවේ ලන්ඩන් කාර්යාලයේ පැවති අභ්‍යන්තර ලේඛන මිලියන පහකට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබෙනවා.

අප්‍රිකාවේ සහ වෙනත් ප්‍රදේශවල ඉහළ අවදානමක් සහිත ණය ගනුදෙනුකරුවන් සමඟ බැංකුව කටයුතු කළ ආකාරය මෙන්ම, චීනයට අවශ්‍ය සම්පත් සහ දේශපාලන සබඳතා තහවුරු කරගැනීම සඳහා එම ණය භාවිත වූ ආකාරය ද එහිදී විමර්ශනය කර තිබෙනවා.