සීදූවට දෛනිකව විදුලිය බිද වැටෙයි – නිලධාරීන්ගෙන් කන් කෙඳිරිලි

කටුනායක – සීදූව, ලියනගේමුල්ල යන ප්‍රදේශවල දෛනිකව දිනකට කිහිපවරක් විදුලිය බිද වැටීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ එම ප්‍රදේශවල ව්‍යපාරික ජනතාව නිරන්තරයෙන් අපහසුතාවයට පත්වන බවට චෝදනා එල්ල වනවා.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ, දීර්ඝ කාලයක සිට මෙලෙස දිනකට කිහිපවතාවක්ම විදුලිය බිඳ වැටෙන බවටයි.

අප මේ සම්බන්ධයෙන් ලංකා විදුලි සමාගම සමාගමේ (LECO) මීගමුව ශාඛාවෙන් කළ විමසීමකදී එහි ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කළේ, මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ සූර්ය විදුලි ජනනය අවම මට්ටමක පවතින බැවින්, මෙලෙස සවස් කාලයේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි.

එමෙන්ම එම තත්ත්වය මඟ හරවා ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී නව ක්‍රමවේදයක් ආරම්භ කිරීමට සැලසුම් පවතින බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක සිට දෛනිකව දිනකට කිහිප වතාවක් විදුලිය කප්පාදු කරන බවට වන චෝදනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කළා.

එසේ වුවද අප මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, දිනකට කිහිපවරක් මෙලෙස විදුලිය බිඳ වැටෙන නිසාවෙන් ඉන්ධන ධහනය මඟින් විදුලි උත්පාදක ක්‍රියාත්මක කරවීමට අධික පිරිවැයක් වැය වන බවයි.

එම ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලා ඇතුළු කාර්මාන්තශාලා රැසක් ද පිහිටා තිබෙනවා.

ගැටළුව මඟ හරින පිළිතුරු වෙනුවට මේ සම්බන්ධයෙන් සාධනීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.