දේශගුණික විපර්යාස හා ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04ක් ජයගැනීම කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාවයි – ඇමති නලින්ද

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 අද (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ වුණා.

දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම කලාපීය සෞඛ්‍ය සැසිවාරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් යුත් මෙරට නියෝජිත කණ්ඩායමක් ද සහභාගීව සිටිනවා.

2025 වසරේ කොළඹ දී පැවති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයේ සමාරම්භක උත්සවය අමතමින් කලාපීය සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සහ සාමූහික ක්‍රියාමාර්ගවල ඇති වැදගත්කම අවධාරණය කළා.

ඒ අනුව කලාපය මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු සහ ඉදිරි අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ කථාව පහතින්.

78 වැනි සැසියේ සභාපතිවරයා ලෙස මගේ ධුර කාලය අවසන් කරන මේ මොහොතේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ ගිනිකොනදිග ආසියානු කලාපීය කමිටුවේ 79 වැනි සැසිය ඇමතීමට ලැබීම මා ලද ඉමහත් ගෞරවයක් මෙන්ම වරප්‍රසාදයක් කොට සලකමි.
පළමුවෙන්ම, 79 වන කලාපීය කමිටු සැසිය ඩිලි නුවර දී පැවැත්වීමට සත්කාරකත්වය දැක්වීම සහ සියලුම නියෝජිතයින්ට ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ටිමෝර්-ලෙස්ටේ රජයට සහ ජනතාවට මාගේ අවංක ස්තූතිය පුද කරමි. මෙම සමුළුව සඳහා විශිෂ්ට සූදානමක් සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ කලාපීය කාර්යාලයට ද මාගේ ස්තූතිය හිමිවේ.
අප කලාපයේ ළාබාලතම රටවලින් එකක් වන ටිමෝර්-ලෙස්ටේ හිදී අප හමුවන බැවින් මෙම සැසිය විශේෂයෙන් වැදගත් වේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම මෙන්ම කලාපීය සහයෝගීතාව වෙනුවෙන් ටිමෝර්-ලෙස්ටේ දක්වන කැපවීම අපි අගය කරමු. මෙම කලාපීය කමිටුව සඳහා සත්කාරකත්වය සැපයීම තුළින්, ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙනීමට, ඔවුන්ගේ ප්‍රගතිය හඳුනාගැනීමට සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් අනාගතයක් සඳහා වූ ඔවුන්ගේ අපේක්ෂාවන් හුවමාරු කරගැනීමට අපට අවස්ථාවක් ලබා දී ඇත.
මෙම සැසිය අපේ කලාපයට ඉතා වැදගත් කාලවකවානුවක දී පැවැත්වෙයි. භූගෝලීය වශයෙන්, ජනගහනය අතින්, ආර්ථික තත්ත්වයන්ගෙන් සහ සෞඛ්‍ය පද්ධතීන්ගෙන් අපේ රටවල් එකිනෙකට වෙනස් වේ. එහෙත්, අපි වඩ වඩාත් පොදු අභියෝගවලට මුහුණ දෙමින් සිටිමු. ජනගහනය වයස්ගත වීම, බෝ නොවන රෝගවලින් ඇතිවන වැඩි බලපෑම, පවතින සහ අලුතින් ඇතිවන බෝවන රෝග, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය හදිසි අවස්ථා, සෞඛ්‍ය ශ්‍රම බලකාය මත ඇතිවන පීඩනය සහ වේගවත් තාක්ෂණික පරිවර්තනය ඒ අතර වේ.
ඒ අතරම, අපගේ පොදු කැපවීම විය යුත්තේ මූල්‍යමය දුෂ්කරතාවකින් තොරව සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් අවශ්‍ය වේලාවට ලබා ගත හැකි බව සහතික කිරීමයි.
පසුගිය වසර පුරා සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ, සාමාජික රටවල් විසින් ලබාදුන් සහයෝගීතාවය මට මහත් දිරිගැන්වීමක් විය. අපගේ කලාපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි වැඩකටයුතු සැලසුම් කිරීමට, ප්‍රමුඛතා හඳුනා ගැනීමට, ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ සාමූහික ක්‍රියාමාර්ග මෙහෙයවීමට සාමාජික රටවලට ඇති වැදගත්ම වේදිකාව වන්නේ මෙම කලාපීය කමිටුවයි. එහි ශක්තිය රඳා පවතින්නේ සියලුම සාමාජික රටවල ක්‍රියාකාරී මැදිහත්වීම, අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මත ය. මෙම සමුළුවේදී ගන්නා තීරණ මගින් අපගේ පොදු අරමුණ පිළිබිඹු වන අතර, එයට නිසි බලයක් මෙන්ම වගකීමක් ද ඇත. කිසිම රටක් සතුව සියලුම ගැටලුවලට පිළිතුරු නොමැති වුවද, අපගේ කලාපය පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීමට දායක විය හැකි අත්දැකීම් සහ පාඩම් සෑම රටක් සතුවම පවතී.
2025 ඔක්තෝබර් මාසයේදී කොළඹදී 78 වැනි සැසියේ සත්කාරකත්වය දැරීමේ වරප්‍රසාදය ශ්‍රී ලංකාවට හිමි විය. අපගේ කලාපයට අදටත් වැදගත් වන එම සැසියේදී ගත් වැදගත් තීරණ දෙකක් කෙටියෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි.
ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති හරහා සෞඛ්‍ය සම්පන්නව වයස්ගත වීම පිළිබඳ ‘කොළඹ ප්‍රකාශනය’ මගින් එක් කරුණක් අවධාරණය කෙරුණි. එනම්, වයස්ගත වන ජනගහනයට සරිලන පරිදි ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක්, පුද්ගලයා කේන්ද්‍ර කරගත් සේවා, විවිධ අංශවල එකමුතුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සහ වැඩිහිටියන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරමින් අපගේ සෞඛ්‍ය පද්ධති සහ සමාජයන් හැඩගැසිය යුතු බවයි.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අධ්‍යාපනය සහ පුහුණුව සඳහා මානව ශාස්ත්‍රය පිළිබඳ යෝජනාව ගුණාත්මක සෞඛ්‍ය සේවාවේ තවත් වැදගත් පැතිකඩක් ඉස්මතු කළේය. එනම් විද්‍යාත්මක සහ තාක්‍ෂණික විශිෂ්ටත්වය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එයට අනුකම්පාව, සංවේදීතාව සහ මානව ගෞරවය ද මුසු විය යුතු බවත්ය.
මෙම මුලපිරීම්, සරල නමුත් වැදගත් මූලධර්මයක් අවධාරණය කරයි: එනම් අපගේ සෞඛ්‍ය පද්ධති ජනතාව කේන්ද්‍ර කර ගත් ඒවා විය යුතු බවයි.
මෙම මූලධර්මය, දැනට ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලින් මෙන්ම ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත 2026-2035 ජාතික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ප්‍රතිපත්තිය මගින් ද පිළිබිඹු වේ. එමගින් පුද්ගලයින්, ප්‍රජාවන් සහ ඔවුන්ගේ යහපැවැත්ම සෞඛ්‍ය සංවර්ධනයේදී මූලිකත්වය ලබා දෙයි. ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම එහි වැදගත් අංගයකි. රෝග නිවාරණය සහ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආයතන සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කම සිහිපත් කරමින්, විධිමත් ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වසර 100ක ඉතිහාසයක් ශ්‍රී ලංකාව මේ වසරේ සැමරුවේය.
79 වන සැසියේ අප ඉදිරියේ ඇති න්‍යායපත්‍රයෙන් පෙන්නුම් කරන්නේ අපගේ ජාතික ප්‍රමුඛතාවයන්, සමස්ත කලාපීය වැඩපිළිවෙල සමඟ කෙතරම් සමීපව සම්බන්ධ වී ඇත්ද යන්නයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් සහ විශේෂඥ සත්කාර ලබාදීමේ සාධාරණත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙම වැදගත් කරුණ ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන් ටිමෝර්-ලෙස්ටේ හි ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වය ද මම අගය කරමි.
අපගේ ජනගහනය වයස්ගත වීමත් සමග සහ නිදන්ගත රෝග වැඩි වන විට, වයෝවෘද්ධ, පුනරුත්ථාපන, මානසික සෞඛ්‍ය, දිගුකාලීන සත්කාර සහ අනෙකුත් විශේෂිත සේවාවන් සාධාරණ ලෙස ලබා දීම වඩ වඩාත් වැදගත් වනු ඇත. මේ සඳහා සෞඛ්‍ය වෘත්තිකයන් වැඩි වශයෙන් බිහිකිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කුසලතා සාධාරණ ලෙස බෙදී යාම, ඵලදායී බහුවිධ සෞඛ්‍ය කණ්ඩායම් නිර්මාණය කිරීම, රෝගීන් යොමු කිරීමේ ශක්තිමත් ක්‍රමවේද සහ අඩු පහසුකම් සහිත ජනතාවට විශේෂිත සේවාවන් ලබාගැනීමට ඇති හැකියාව සහතික කිරීම ද අවශ්‍ය වේ.
අප ඉදිරියේ ඇති න්‍යාය පත්‍රයෙන් ඔබ්බට සිතන විට, විශේෂ අවධානයක් සහ ශක්තිමත් සාමූහික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන, අලුතින් මතුවන කලාපීය අභියෝග හතරක් පවතී.
පළමුව, දේශගුණික විපර්යාස අපගේ කලාපයට වඩ වඩාත් පොදු සෞඛ්‍ය ආරක්ෂක අභියෝගයක් බවට පත්වෙමින් තිබේ. ජීවිත අහිමිවීම්, අවතැන්වීම්, යටිතල පහසුකම් විනාශ වීම සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවලට බාධා එල්ල වීම ඇතුළු ගංවතුරින් සිදුවූ දරුණු ප්‍රතිවිපාකවලට නැවත වරක් මුහුණ දුන් නේපාලයේ ජනතාව සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරයි. දේශගුණය ආශ්‍රිත ව්‍යසනයන් දේශසීමාවලට පමණක් සීමා නොවන බව ඔවුන්ගේ අත්දැකීම් අපට පෙන්වා දෙයි. 2025 නොවැම්බර් මාසයේදී ‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව ද මෙවැනිම තත්වයකට මුහුණ දුන්නේය. ගංවතුර, නායයෑම්, දරුණු කාලගුණික තත්වයන්, අනාරක්ෂිත ජලය, රෝග පැතිරීම සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවලට බාධා වීම හේතුවෙන් අපගේ කලාපය පුරා ජනතාවට සහ සෞඛ්‍ය පද්ධතිවලට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. එබැවින් අපගේ සෞඛ්‍ය පහසුකම් දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සකස් කිරීමටත්, පූර්ව අනතුරු ඇඟවීමේ සහ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමටත් අවශ්‍ය වේ. අත්‍යවශ්‍ය සේවාවන් ආරක්ෂා කරමින්, දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා කලාපයක් ලෙස අප එක්ව ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතුය.
දෙවනුව, ඩෙංගු රෝගයෙන් ඇතිවන බලපෑම වැඩි වීම සහ නැවත නැවත ඇතිවන වසංගත තත්වයන් හේතුවෙන් කලාපය පුරා සෞඛ්‍ය පද්ධති මත දැඩි පීඩනයක් එල්ල වී ඇත. මේ සඳහා හදිසි, මනා සම්බන්ධීකරණයකින් යුත් බහු ආංශික කලාපීය ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ. ඩෙංගු රෝගය තිරසාර ලෙස පාලනය කිරීම සහ වැළැක්වීම සඳහා කලාපයක් ලෙස අප තවමත් ප්‍රමාණවත් සාමූහික උත්සාහයක් දරා නොමැති බව සියලුම සාමාජික රටවලට සිහිපත් කිරීමට මම කැමැත්තෙමි.
තෙවනුව, බැනියන් රාමුව (Banyan Framework) යටතේ රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ විවිධ අංශ එක්ව කරන ක්‍රියාකාරකම් සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. ඒ ඔස්සේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් කලාපීය කතිකාවතක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් පවතී.
හතරවනුව, ළමුන්ගේ සහ යෞවනයන්ගේ සෞඛ්‍යයට, ආරක්ෂාවට සහ යහපැවැත්මට ඩිජිටල් පරිසරය මගින් වැඩි බලපෑමක් එල්ල කරමින් සිටී. එබැවින් ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් තුළින්, සමාජ මාධ්‍ය හා තාක්ෂණික වේදිකාවන් සමඟ එක්ව ළමුන් සඳහා ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමට සුදුසු යාන්ත්‍රණයක් පිළිබඳව අප සලකා බැලිය යුතු වේ.
මෙම අභියෝග හුදෙක් එක් රටකට පමණක් සීමා නොවේ. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය කාර්යාලයේ (WHO SEARO) සහාය ඇතිව අත්දැකීම් බෙදාගැනීම, ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව නිවැරදි තොරතුරු, අත්දැකීම් සහ නව නිපැයුම් බෙදාගැනීමෙන් අපගේ කලාපයට බොහෝ දේ අත්කර ගත හැකිය. එක් සාමාජික රටක් ලබන සාර්ථකත්වය තවත් රටකට වටිනා ආදර්ශයක් විය හැකිය. එමෙන්ම, හදිසි අවස්ථා හෝ පහසුකම් අවම වීම්වලට මුහුණ දෙන රටවලට සහාය වීම හරහා සමස්ත කලාපයේම සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් වෙයි.
සභාපතිවරයා වශයෙන් මගේ වගකීම් අවසන් කරන මේ මොහොතේ, පසුගිය වසර පුරාවට මා කෙරෙහි තැබූ විශ්වාසය සහ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම සාමාජික රටවලට මාගේ අවංක කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. 78 වැනි සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම වරප්‍රසාදයක් කොට සලකමි. අපේ කලාපයේ ශක්තිය සහ ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා අප සතු සාමූහික හැකියාව පිළිබඳව දැඩි විශ්වාසයෙන් යුතුව මම මෙම වගකීමෙන් සමුගනිමි.
සභාපතිවරයාට සහ සාමාජික රටවලට ලබා දුන් මඟ පෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමාට, අදාළ නිලධාරීන්ට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේකම් කාර්යාලයට ද මම ස්තූතිවන්ත වෙමි. අප ගන්නා සාමූහික තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජික රටවල් සහ ලේකම් කාර්යාලය අතර ඇති සහයෝගීතාවය අතිශයින්ම වැදගත් වේ.
අලුතින් පත්වන සභාපතිවරයාට මගේ උණුසුම් සුබපැතුම් එක් කරමි. නව සභාපතිවරයාට මගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික වන අතර, ඔබ මා වෙත දැක්වූ සහයෝගය සහ විශ්වාසයම එතුමාටත් ලබා දෙන ලෙස සියලුම සාමාජික රටවලින් ඉල්ලා සිටිමි.
මෙම සැසියට සත්කාරකත්වය සපයන ටිමෝර්-ලෙස්ටේ රජයට සහ ජනතාවට සෑම අතින්ම සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරන අතර, සියලුම නියෝජිතයින්ට ඵලදායී සහ අර්ථවත් සාකච්ඡාවක නිරත වීමට හැකිවේවායි මම සුබ පතමි.
ඩිලි නුවරදී අප ගන්නා තීරණ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමටත්, සැමට සාධාරණ සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමටත්, සියල්ලටමත් වඩා දකුණු සහ ගිනිකොනදිග ආසියානු ජනතාවගේ ජීවිතවලට සදාකාලික ධනාත්මක වෙනසක් ඇති කිරීමටත් හේතු වේවා.