ඉන්දියාවේ ප්‍රථම මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන වන ‘ගගන්යාන්’ මෙහෙයුමේ ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීම සඳහා ශ්‍රීහිරිකෝටා හි සතිෂ් ධවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පැවැත් වූ සුවිශේෂී රොකට් මෝටර් පරීක්ෂණයක් සාර්ථක වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා.
මෙම පරීක්ෂණය සිදුකරනු ලැබුවේ ‘SOLVE’ (Sub-Orbital Launch Vehicle for Experiments) ලෙස හඳුන්වන නව පර්යේෂණාත්මක රොකට් පද්ධතියේ ඝන ඉන්ධන මෝටරය (Solid motor) සඳහායි.
පසුගිය ජූලි 3 වැනිදා පෙරවරු 10:00 ට පවත්වන ලද මෙම ස්ථිතික භූගත පරීක්ෂණයේදී රොකට් මෝටරය අපේක්ෂිත පරිදිම උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වී තිබෙනවා.
‘SOLVE’ රොකට්ටුව නිපදවා ඇත්තේ ගගන්යාන් මෙහෙයුමේ ගගනගාමීන් රැගෙන යන පියසැරි මොඩියුලය (Crew Module) නැවත පෘථිවියට පැමිණීමේදී එහි වේගය පාලනය කරන පැරෂුට් පද්ධතිය විවිධ දේශගුණික තත්ත්ව යටතේ පරීක්ෂා කිරීම සඳහායි.
මෙම පර්යේෂණ මෙහෙයුම්වලදී, ගගනගාමීන් රැගෙන යන මොඩියුලය කිලෝමීටර් 10 සිට 17 දක්වා ඉහළ අහසට රැගෙන ගොස් රොකට්ටුවෙන් වෙන් කරනු ලැබේ. ඉන් අනතුරුව ක්‍රියාත්මක වන පැරෂුට් 10කින් යුත් පද්ධතියක් මඟින් එහි වේගය ක්‍රමයෙන් අඩු කර, මොඩියුලය ආරක්ෂිතව මුහුදට පතිත කරවීමට (Splashdown) සැලසුම් කර තිබෙනවා.
මෙම නව රොකට් මෝටරය ඉන්දියාවේ සුප්‍රසිද්ධ PSLV රොකට්ටුවේ කොටස් ආශ්‍රයෙන් නිපදවා ඇති අතර, ගගන්යාන් මෙහෙයුමේ අවශ්‍යතා සඳහා ගැලපෙන පරිදි එහි ඉන්ධන දහන වේගය පාලනය කිරීම ඇතුළු නවීන තාක්ෂණික වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා.
ISRO ආයතනයේ සභාපති වී. නාරායනන් මෑතකදී ප්‍රකාශ කළේ, සැබෑ මිනිසුන් අභ්‍යවකාශයට යැවීමට පෙර, මිනිසුන් රහිත පරීක්ෂණ මෙහෙයුම් (Uncrewed missions) තුනක් මේ වසරේ සිට සාර්ථකව නිම කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.













