පාකිස්ථානයේ සංචාරයක නිරත වූ විදේශීය කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස්, රඳවා තබා ගනිමින් ඩොලර් මිලියන ගණනක කප්පම් ඉල්ලා මාරාන්තික වධහිංසා පැමිණවීමේ සහ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ බිහිසුණු පුවතක් ලාහෝර් නුවරින් වාර්තා වනවා.
වින්දිතයන් බවට පත්ව ඇත්තේ නෙදර්ලන්ත සහ වෙනිසියුලානු ජාතික කාන්තාවන් දෙදෙනෙක්.
ඔවුන් දෙදෙනා පසුගිය ජූනි 26 වැනිදා පාකිස්ථානයට පැමිණ ඇත්තේ මීට පෙර සිංගප්පූරුවේදී හඳුනාගත් එරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකුගේ සමීප ඥාතියෙකු වන ව්‍යාපාරික හවුල්කරුවෙකුගේ ආරාධනයකට අනුවය. ඉහළ පෙළේ ආයෝජකයින් හමුවීමේ ව්‍යාපාරික අවස්ථාවක් සලසා දෙන බව පවසමින් මෙම ප්‍රධාන සැකකරු විසින් ඔවුන් රවටා ගෙන්වා ගෙන තිබේ. ජූනි 29 වැනිදා උපන්දින සාදයක් සඳහා යැයි පවසමින් ලාහෝර්හි පිහිටි පාළු නිවසකට මොවුන්ව කැඳවාගෙන ගොස් ඇති අතර, එහිදී ගිනිඅවි සහ ලණු රැගත් සන්නද්ධ පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනාගේ දෑත් පිටුපසට තබා බැඳ දමා වධහිංසා පමුණුවා තිබෙනවා.
සැකකරුවන් විසින් මෙම කාන්තාවන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, මුදල් ලබා නොදුන්නහොත් ඔවුන්ව මරා දමා ශරීර කොටස් විකුණන බවට තර්ජනය කර තිබේ. රඳවා සිටි කාලය තුළදී නෙදර්ලන්ත කාන්තාවගේ ජංගම දුරකථනය බලහත්කාරයෙන් ලබාගෙන ඇගේ ගිණුම්වලින් ඩොලර් 17,000ක ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) සොරකම් කිරීමට ද සැකකරුවන් කටයුතු කර ඇත. එහිදී තම පවුලේ අයට මුදල් ඉල්ලා හඬ පණිවිඩ යැවීමට බල කළ අවස්ථාවේදී, නෙදර්ලන්ත කාන්තාව රහස් සංඥා කේතයක් ඊට ඇතුළත් කිරීමට සමත් වී ඇති අතර, ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ යුරෝපයේ සිටින ඇගේ පවුලේ අය ජාත්‍යන්තර සහ පාකිස්ථාන ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.
පසුව ජූලි 1 වැනිදා සැකකරු විසින් ඔවුන්ව ගුවන් තොටුපළට රැගෙන යන බව පවසා වෙනත් ස්ථානයකට රැගෙන යාමට උත්සාහ කිරීමේදී, වාහනය තදබදයකට ලක්වූ මොහොතක කාන්තාවන් දෙදෙනා දිවෙන වාහනයෙන් බිමට පැන අසල තිබූ ගරාජයකට දිවගොස් බේරී ඇත. එහි සිටි රථවාහන පොලිස් නිලධාරියෙකු වහාම ක්‍රියාත්මක වී ආරක්ෂක අංශ කැඳවා ඔවුන්ව මුදාගෙන තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු හතර දෙනෙකු මේ වන විට ලාහෝර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.













